ජනපති සටනට ජාතික ජන බලවේගයෙන් ජවිපෙ අනුර කුමාර දිසානායක

(කොළඹ, ලංකාපුවත්) –ජාතික ජන බලවේගය නමින් ගොඩ නැංවී ඇති පුළුල් ජනතා පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නම් කිරීම ‘ජාතික ජන බලවේගය’ ඊයේ (18) ගාලුමුවදොර පිටියේදී පැවැති එම සංවිධානයේ මංගල සමුළුවේදී සිදු කෙරිණි.

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීය සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් රැසක් එක්ව ගොඩ නැඟුණු ජාතික ජන බලවේගය සංවිධානය, මෙවර ජනාධිපතිවරණය සඳහා තම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව මීට පෙර නිවේදනය කර තිබිණි. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහ සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම් මෙන්ම ජාතික විද්වත් සංවිධානය, අලුත් පරපුර, 71 සහෝදරත්ව සංසදය, වමේ කේන්ද්‍රය ඇතුළු සංවිධාන 32ක් මෙම සංවිධානයේ සාමාජිකත්වය දරති.

ඊයේ ගාලුමුවදොර පිටියේදී පැවැති ජාතික ජන බලවේගයේ මංගල රැළියට අති විශාල ජනතාවක් සහභාගි වී තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සහභාගි වන්නේ වසර 20කට පසුව වීම විශේෂත්වයකි. 2005 වසරේදී එවකට සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත්, 2010 වසරේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මහතාටත් ජනතා විමුක්ති පෙරමුණ සහාය පළ කළ අතර අනතුරුව පැවති 2015 වසරේ ජනාධිපතිවරණයේදී ඊට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින්ට සහාය පළ නොකිරීමට මෙන්ම තම පක්ෂයේ සාමාජිකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකිරීමටද ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *