දිමුත්ගේ ශතකයෙන් ශ්‍රී ලංකා පිලට කඩුලු 6ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) – නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට ශතකය නිසා නවසීලන්තයට එරෙහිව ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. එමෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මේ තරගමාලාවේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමෙන් ප්‍රසාද ලකුණු 60ක හිමිකම් කීමට ද ශ්‍රී ලංකාවට හැකිවිය.

මේ ජයග්‍රහණයත් සමග වසර 7කට පසුව නවසීලන්තය ටෙස්ට් තරගයකින් පරාජය කළ ශ්‍රී ලංකා පිල ගාලු ක්‍රීඩාංගණයේදි ප්‍රතිවාදීන් හමුවේ සිය අපරාජිත වාර්තාව රැකගත්තේ මෙතෙක් පැවැති ටෙස්ට් තරග 4ම ජයග්‍රහණයෙන් නිමා කරමිනි. මීට පෙර 2012 නොවැම්බරයේදි ශ්‍රී ලංකා පිල හමුවේ අවසන් වරට නවසීලන්තය පරාජයට පත්වූයේ ද ගාලු ක්‍රීඩාංගණයේදි වීමත්, ඊයේ ශතකයක් රැස් කරමින් නවසීලන්තයට පරාජයේ මාවත විවර කළ නායක දිමුත්ගේ මංගල ටෙස්ට් තරගය එය වීමත් විශේෂත්වයකි.

නවසීලන්තය ලබාදුන් ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පෙරේදා දිවා ආහාරයෙන් පසුව ළහිරු තිරිමාන්න සමග පිටියට පිවිසි දිමුත් පළමු කඩුල්ලට ලකුණු 161ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයට කදිම අඩිතාලමක් දැමූ අතර එය වසර 27කට පසුව නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගයක ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් අතර ගොඩනැගුණු ඉහළම සම්බන්ධතාව බවට පත්විය. එමෙන්ම එය දෙපිල අතර ටෙස්ට් තරග ඉතිහාසයේ පළමු කඩුල්ලට ගොඩනැගූ ඉහළම සම්බන්ධතාව සම කිරීමක් ද විය. මීට පෙර රොෂාන් මහනාම සහ චන්දික හතුරුසිංහ එස්.එස්.සී. පිටියේදි පළමු කඩුල්ලට ලකුණු 102ක් රැස් කරමින් නවසීලන්තයට එරෙහිව පළමු කඩුල්ලේ ඉහළම සම්බන්ධතා වාර්තාව තැබුවේ 1992දීය. දිමුත් සහ ළහිරු විසින් සමකරනු ලැබුවේ 1991 පෙබරවාරියේ හැමිල්ටන් නුවරදි ජෝන් රයිට් සහ ට්‍රෙවර් ෆ්‍රැන්ක්ලින් පළමු කඩුල්ලට තැබූ ලකුණු 161ක සම්බන්ධා වාර්තාවය.

සිය 9 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ඊයේ ගාල්ල ක්‍රීඩාංගණය වර්ණවත් කළ දිමුත් කරුණාරත්න අවසන් වරට ශතකයක් ලැබුවේද ගාලු ක්‍රීඩාංගණයේදිමය. එය වාර්තා වූයේ පසුගිය වසරේ ජූලි මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිවය.

අවස්ථා කිහිපයකදීම නවසීලන්ත පන්දු රකින්නන්ගෙන් සිය කඩුල්ල රැක ගැනීමට තරම් වාසනාවන්ත වූ දිමුත් සිය ශතකය වාර්තා කළේ 66 වැනි ඕවරය යැවූ අජාස් පටේල්ගේ පන්දුවකට ඉදිරියට පැන මිඩ් විකට් හරහා හතරේ පහරක් එල්ල කරමිනි. ඔහු දැවී යද්දි ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 50ක් පමණි.

විලියම් සමර්විල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී තිරිමාන්න දැවීයාමෙන් පසුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් මුහුණ දුන්නේ පන්දු 6කට පමණි. දෙවැනි පන්දුවේදිම මිඩ් විකට් හරහා ඉදිරියට පැන හතරේ පහරකින් සමර්විල්ට සංග්‍රහ කළ කුසල් මෙන්ඩිස් ඊළඟ පන්දුවටත් ඉදිරියට පැන එම කලාපයෙන්ම එල්ල කළේ දැවැන්ත හයේ පහරකි. එහෙත් ඔහුගේ ඉනිම මිනිත්තු 8කට සීමා කළ අජාස් පටේල්ගේ සිය උගුලට ඔහු කොටුකර ගත්තේය.

පිට පිට ඕවර දෙකක් තුළ කඩුලු 2ක් බිඳ වැටීමෙන් පසුව කුසල් ජනිත් පෙරේරා සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාවෙන් එපිටට ගෙන ගිය දිමුත් තුන්වැනි කඩුල්ලට ලකුණු 44ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිටියදි සවුතිගේ පන්දුවක් හමුවේ දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 218දීය. මිනිත්තු 311ක් කඩුල්ලේ රැඳී සිටි හෙතෙම හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමග ලකුණු 122ක් රැස් කළේ පන්දු 243කිනි.

සමර්විල් යැවූ ඉනිමේ 78 වැනි ඕවරයේ පස්වැනි පන්දුවට උඩ පන්දුවක් රැකගත් බවට කඩුලු රකින වොට්ලින් කළ ඉල්ලීමට පිටියේ විනිසුරු අවනත වුවත් පසුව තුන්වැනි විනිසුරුගේ පිහිටෙන් කඩුල්ල බේරාගත් කුසල් ජනිත් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ අතර ලකුණු 23ක් ලැබුවේ පන්දු 19කිනි. ඊට හතරේ පහර 5ක්ම එක්විය.

අනතුරුව ධනංජය ද සිල්වා සමග එක්ව ජයග්‍රහණය තෙක් ශ්‍රී ලංකා පිල රැගෙන ගිය ඇන්ජෙලෝ මැතිව්ස් ජයග්‍රාහී ලකුණ වාර්තා කළේ නොදැවී ලකුණු 28ක් රැස් කරමිනි. ධනංජය ද සිල්වා නොදැවී රැස් කළ ලකුණු 14ට හතරේ පහර 3ක්ම ඇතුළත් විය.

දෙපිල අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය මේ මස 22 වැනිදා පී. සරා ඕවල් පිටියේදි ආරම්භ කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *