අයි.සී.සී. පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල මුල් 10 අතරට දිමුත්

(කොළඹ, ලංකාපුවත්) –නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්්ට ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රාහී මාවතට ගෙන ගිය නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත්ව තිබේ.

තරගාවලිය ආරම්භ වීමට පෙර පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි ස්ථානයේ පසුවූ කරුණාරත්න මෙලෙස මුල් පිතිකරුවන් 10 දෙනා අතරට පිවිසි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

නිමාවූ අළු බඳුන තරග ද්විත්වයේදී ශතක 2ක් සහ අර්ධ ශතකයක් රැස්කරමින් දැක්වූ දස්කම් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත් පිතිකරුවන් අතර දෙවැනි තැනට පත්ව තිබේ.

එතෙක් දෙවැනි ස්ථානයේ පසුවූ නවසීලන්ත නායක කේන් විලියම්සන් තෙවැනි ස්ථානයට පත්ව තිබේ. කෙසේ වෙතත් පිතිකරුවන් අතර තවමත් පෙරමුණ ගැනීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත්ව සිටී. ස්මිත් සහ කෝලි අතර ප්‍රසාද ලකුණු පරතරය ලකුණු 9කි.

නවසීලන්තය සමග තරගයේදී පළමු ඉනිමේ අර්ධ ශතකයක් රැස්කළ ඇන්ජලෝ මැතිව්ස් 14 වැනි ස්ථානයට පත්ව ඇති අතර කුසල් මෙන්ඩිස් 19 වැනි ස්ථානයේම පසුවෙයි.

වසරකට පමණ පසුව ටෙස්ට් පිටියට පිවිසෙමින් නවසීලන්ත පළමු ඉනිමේ කඩුලු 5ක් සමගින් සමස්ත තරගයේදී කඩුලු 6ක් බිඳ දමමින් දස්කම් දැක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයද ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට ඒමට සමත්ව තිබේ. තරගාවලියට පෙර 45 වැනි ස්ථානයේ පසුවූ අකිල ස්ථාන 9ක් ඉදිරියට පැමිණ 36 වැනි අත්කරගෙන සිටී.

අළු බඳුන තරගාවලියේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලබාගත් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් මේ ශ්‍රේණිගත කිරීම්වල 83 වැනි ස්ථානයට පත්ව තිබීමද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 12 =