ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අලුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වඩාත් ස්වාධීන හා බලගතු දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේ අරමුණින් එහි කටයුතු නවීකරණය සඳහා වැඩපිළිවෙළක් හඳුන්වා දුන් බව ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කෙළේය.

ශ්‍රී ලංකාවේ ජාතික දත්ත පද්ධති සම්පාදනයේ කාර්යයේ නියැළී සිටින ප්‍රබලතම ආයතනය වන ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වත්මනට ගැළපෙන සේ ක්‍රියා කිරීමේ වැදගක්කම හැඳින ගනිමින් රජය ඊට නවීකරණ වැඩපිළිවෙළ හඳුන්වා දුන් බව ද ඇමැතිවරයා කීය.

කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුන 22 වැනි මහලේ පිහිටි අමාත්‍යාංශයේ ඉකුත් දා පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කළේය.

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික දත්ත සැකසීමේ දී වඩාත් නිවැරැදි, ප්‍රායෝගික හා යාවත්කාලීන වූ කරුණු අනාවරණය කර ගැනීමට මේ නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාවට නැවීමෙන් හැකිවනු ඇතැයි ඇමැතිවරයා මෙහි දී විශ්වාසය පළ කෙළේය.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ගණන් බැලීමේ දී දැනට අනුගමනය කරන දත්ත එක්රැස් කිරීමේ නියැදියේ පවතින ඇතැම් තාක්ෂණික, ප්‍රායෝගික දෝෂ මඟහැර වඩාත් විධිමත් දත්ත ලබා ගැනීමකට නව වැඩපිළිවෙළින් අවකාශ සැලසෙන බව ද හර්ෂ ද සිල්වා මහතා කීය.

රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන්නා සේම, ඉන් රටට අත්වන ප්‍රගතිය, ජනතාවට ලැබෙන වාසි, ආර්ථිකයේ නව දිශානතීන් පිළිබඳ මනා ප්‍රායෝගික වූ දත්ත විශ්ලේෂණයක් ලබා ගැනීමට ද නව නවීකරණ වැඩපිළිවෙළ තුළින් සිදුවනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කෙළේය.

රටේ විවිධ වයස් කාණ්ඩවලට අයත් පිරිස් මේ වන විට නව රැකියා අවස්ථා ලෙස යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු ජංගම රථවලින් ආහාරපාන සපයාදීම, අලෙවි කිරීම, ත්‍රිරෝද රථ ධාවනය වැනි දේ ඉටු කරන අතර, ඔවුන්ගේ ආර්ථික දායකත්වය හරිහැටි ගණන් බැලීමක් සිදුවේ දැයි සැක සහිතය. ඊට අමතරව නිවෙසේ සිට ඇතැම් දෙනා ඉටු කරන සේවාවලින් ආර්ථිකයට ඇති වන බලපෑම නිසි ලෙස ගණන් බැලීමක් සිදු නොවේ.

මේ අඩුපාඩු මඟ හරවා ගනිමින් වඩාත් නිවැරැදි, වඩාත් ප්‍රායෝගික දත්ත විශ්ලේෂණ රටට, ජනතාවට ලබාදීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සූදානම් කිරීම නවීකරණ වැඩපිළිවෙළින් සිදුවනු ඇත‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *