කෝට්ටේ යුගයේ අදටත් ඉතිරිව ඇති අම්බලම

(කොළඹ, ලංකාපුවත්) –ලංකාපුරයේ අවසන් රාජධානිය වූ කෝට්ටේ රාජධානිය ආරම්භ වන්නේ 1415 වසරේ සය වැනි පරාක්‍රමබාහු රජු රාජ්‍යත්වයට පත්වීමෙනි. එකල්හි සිට කලක් නගරය ක්‍රමයෙන් වර්ධනය වන්නට පටන් ගත් අතර ජනයා අගනුවර පැමිණ තම රැකී රක්ෂා හා රජ මාළිගය ආශ්‍රිත කටයුතු මෙන්ම කෝට්ටේ පන්සල වන්දනා මාන කරගැනීමටද පුරුදු වූහ.

අගනුවරට පැමිණි අයට හා පන්සල වන්දනාමාන කරන්නට ආ බැතිමතුන්ගේ සුඛ විහරණය උදෙසා එකල්හි රජ කල ඇත්තන් අම්බලම් තනා ජනසතු කළෝය. තැනූ අම්බලම් අතර අදටත් ඉතිරිව ඇති අම්බලමකි කෝට්ටේ ගල් අම්බලම. ගල් කණු දොළසකින් එහි වහළය ඔසවාගෙන සිටින නිසා එය ගල් අම්බලම නම් විය. මේ ආසන්නයේ තිබු තවත් සුප්‍රසිද්ධ අම්බලමක් වූ “මැටි අම්බලම“ කාලයාගේ ඇවෑමෙන් විනාශ වී තිබේ.

අදටත් සුරැකිව ඇති මෙම ගල් අම්බලම වසර 500කට ආසන්න අතීතයකට උරුමකම් කියයි. මග ආගිය ඇත්තන් අවුවට වැස්සට ගොඩවී වෙහස නිවාගත් අතර අම්බලම නිතර පිරිසිදුව තබා ගන්නට පවා උනන්දු වී සිටියහ. අම්බලම දිගින් අඩි 20 ක් ද, පළලින් අඩි 15 ක් ද, වන අතර එහි වහලය ගල් කණු 12 මත ඉදිකර තිබේ.

2004 වසරේදී මාර්ගය පුළුල් කොට සංවර්ධනය කරන්නට අවැසි වූ බැවින් මෙම අම්බලම අතීතයේදී පිහිටි ස්ථානයෙන් ගලවා මදක් පිටුපසට ගෙන වැඩිදියුණු කොට පෙර ලෙසම යළිත් ස්ථාපනය කර තිබේ.

වසර 500ක පමණ අතීතයකට උරුම කම් කියන මෙම “අතීත නිර්මාණය“ නගර සංවර්ධන වෙනුවෙන් විනාශ නොකොට තවත් සියවස් කිහිපයක් හෝ රැක ගැනීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක් බව සිතෙහි තබා ගත යුතුය.

(උපුටා ගැනීම – හසිත හේරත්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *