කරදිය ජලජීවී පර්යේෂණ මධ්‍යස්ථානයක්

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් මිලියන 50ක වියදමින් ඉදිකරන කරදිය ජලජීවී පර්යේෂණ මධ්‍යස්ථානය සදහා මුල් ගල් තැබීම අද(22) සිදු විය.

ඒ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතනය [ නාරා ] පරිශ්‍රයේ ඉදිකෙරේ.

කරදිය ජලජිවි පර්යේෂණ කටයුතු වලදී මෙවැනි මධ්‍යස්ථානයක් නොමැති වීම හේතුවෙන් ඒ පිළිබද පර්යේෂණ වලට විවිධ බාධා එල්ල විය. නව පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් පසු එම සියළු බාධා ඉවත් කරගැනීමට හැකි වනු ඇති බව නාරා ආයතනය සදහන් කළේය.

අද මුල්ගල් තැබූ නව පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් අනතුරුව කරදිය විසිතුරු මසුන් බෝ කිරීම, මුහුදු කූඩැල්ලන් බෝ කිරීම, ඉස්සන් බෝ කිරීම ,මුහුදු පැලෑටි වගාව හා පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය සියළු පහසුකම් සැලසේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා, ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතනයේ [නාරා] සභාපති ඊ.ඒ.එස්.කේ.එදිරිසිංහ , කළමණාකාර අධ්‍යක්‍ෂ නිපුන් සොයිසා යන මහත්වරින් මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිකිරීම් ආරම්භ කරමින් මුල්ගල් තැබීමට එක්ව සිටියහ.

අනතුරුව පැවති රැස්වීමේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේ පැවසිය . “ මෙය අප ලැබූ විශාල ජයග්‍රහණයක් . විසිතුරු මත්ස්‍ය අපනයන කර්මාන්තයෙන් ජාතික ආර්ථිකයට සියයට තුනක පමණ දායකත්වයක් ලැබෙනවා . නමුත් මෙතෙක් කරදිය විසිතුරු මසුන් අපනයනය කලේ මුහුදෙන් අල්ලාගෙන . නව පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් පසු එහි අභිජනනය කර කරදිය විසිතුරු මසුන් අපනයනය කිරීමේ හැකියාව ලැබෙනවා . මෙය අපේ අපනයන ක්‍ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති කරන්නක් . ”

“නාරා ආයතනය කියන්නේ ධීවර ක්‍ෂේත්‍රයේ හදවත. නව සොයාගැනීම් පිළිබද රටවැසියා නිවැරදි ලෙස අවබෝධ කර දීම මගින් මේ කර්මාන්තයේ වේගවත් සංවර්ධනයක් ඇති කල හැකියි . ඒ වගේම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරණ සිසු දරු දැරියන් සදහා මේ ආයතනයෙන් ලැබෙන සේවය මිල කල නොහැකියි. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *