මව්බිමේ ආරක්‍ෂාවට ප්‍රමුඛත්වයක් දෙන බවට නව යුද හමුදාධිපතිගෙන් ප්‍රතිඥාවක්

(කොළඹ, ලංකාපුවත්) – ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලෙස සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මව්බිම සියළු තර්ජන වලින් ආරක්‍ෂා කිරීමට සහතික වන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

නව යුද හමුදාධිපතිතුමන් නිකුත් කල නිවේදනය:

මාතෘ භුමියේ ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාවය හා ඒකීයභාවය ආරක්ෂා කිරීමට යුධ හමුදාවට නායකත්වය ලබාදීම සිය ප්‍රථම කාර්යය භාරය බව නව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදාපති ධූරයේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙන්නේ මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ගේ ආරක්ෂාව උදෙසා ආරක්ෂක විධිවිධානයන් ක්‍රියාත්මක කිරිමට උපදේශයන් ලබාදීම සිය දෙවන කාර්යය භාරය බවයි.

සියලුදෙනාගේ සුබ සාධනය වෙනුවෙන් ක්‍රියා කරමින් රණවිරු පවුල්වල සුබ සාධන අවශ්‍යතා සපුරාලීම තෙවන කාර්යය ලෙස ද යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙයි.

ලෝකයේ ඕනෑම හමුදාවක් තම රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරකින්නටත් නිදහස්ව හා ප්‍රජාතන්ත්‍රවාදීව ජිවත්විමේ වටපිටාව නිර්මාණය කිරිමටත් බැදී සිටින බව ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඕනෑම රාජ්‍යයක් පිළිගන්නා සම්මතයන් ආරක්ෂා කරමින් හා ජාත්‍යන්තර මානුෂවාදී අයිතීන් රැකෙන ලෙස යුධ සමයේදී ක්‍රියාකළ බවත් වර්තමානයේදී අප රටේ ජිවත් වන දමිල, මුස්ලිම්, බර්ග, මැලේ ආදී සියලු ජාතීන්ට එක මවකගේ දරු කැලැක්මෙන් සහජිවනයෙන්, සංහිදියාවෙන් හා සහෝදරත්වයෙන් ජිවත්විමේ අයිතිය උදාකරදිමට අවශ්‍ය වටපිටාව සම්පාදනය කිරිම සැමගේ වගකීම බව යුධ හමුදාපතිවරයා පෙන්වා දෙයි.

විශේෂයෙන් ඕනෑම තත්ත්වයකට මුහුණදීම උදෙසා යුධ හමුදා බුද්ධී අංශ ප්‍රතිසංවිධානය කොට සිය කාර්යක්ෂමතාව ඉහල තලයකට ගෙනඒමත් ජාත්‍යන්තර හමුදාවන් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදයන් අධ්‍යයනය කොට එම අත්දැකීම් අප බුද්ධි අංශ වෙතද ලබාදීම පිළීබඳව දැඩි අවධානය යොමු කර ඇති බව ද ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරමින් තමා වෙත පැවරෙනෙ සියලු වගකීම් හා කාර්යයන් සාර්ථකව මෙන්ම ක්‍රමානූකුලව ඉටු කිරිමටත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කීර්තිනාමය හා ජීව ගුණය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව නව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *