වැලිකඩ ජේලර්වරයා ඝාතන සිද්ධියට තවත් අයෙක් සැකපිට අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකුව සැකපිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඉකුත් 03වනදා අම්බලන්ගොඩ පොලිස් වසමේ කුලීගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයෙකු වන තිළිණ රුවන් තිහාර ජයරත්න යන අය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන්ට ආධාර අනුබල දුන් එහි යතුරුපැදියේ හිමිකරු මෙලෙස අම්බලන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඊයේ (21) දහවල් 1.20ට පමණ හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

වයස අවුරුදු 25ක් පමණ වන ඔහු පන්නිල හික්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබේ. සැකකරුව අද (22) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගැනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *