කිසිදු ගැටලුවක් ඇති නොවන්න පක්ෂය ඉදිරියට ගෙන යනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තමන් පක්ෂය තුල කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි එක්සත්ව ඉදිරියට ගෙන යන බවත්, නව සන්ධානය ගොඩනැ‍ඟීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පක්ෂයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(22) දින අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක දී පැවැසීය.

ගතවූ වසර කිහිපය තුල වත්මන් ආණ්ඩුව ලබා දී තිබෙන නිදහස ආරක්ෂා කර ගනිමින් රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ(22) අරලියගහ මන්දිරයේ දී පැවැති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සඳහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව ත්‍රිකුණාමලය, අම්පාර, පුත්තලම, මාතලේ, පොළොන්නරුව, යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවේ දී ය.

එහි දී තව දුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කිරීම ඇතුළු තීන්දු තීරණ කිහිපයක් හේතුවෙන් ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වටපිටාවක් අපි ඇතිකර තිබෙනවා. අද අපට කොතරම් දෝෂාරෝපණ එල්ල කළත් ඒ කිසිවකුත් සුදු වෑන්වලින් ගෙන ගොස් අතුරුදන් කිරීම් හෝ ඝාතනය කිරීම් සිදු කර නැහැ. දිනා ගත් නිදහස ආරක්ෂා කරමින් අප සියලු දෙනාම ඉදිරියට ගමන් කළ යුතුයි.

පසුගිය වසර කිහිපය තුල විශාල වැඩකටයුතු ප්‍රමාණයක් සිදුකර තිබෙන නිසා එම වැඩපිළිවෙළ තවත් ඉදිරියට ගෙන යා යුතුයි. කොතරම් අභියෝග හමුවේ වුවත් රැකියා ලබාදීමට අප පියවර ගත්තා. ඉදිරියේදීත් රැකියා ලබාදීමට රැකියා අවස්ථා බිහිකළ යුතුව තිබෙනවා.

රටක් දියුණු කිරීමට වසර 10–15ක කාලයක් අවශ්‍ය වෙනවා. මෙම සංවර්ධන වැඩපිළිවෙළ ආරක්ෂා කර ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අපේම ආණ්ඩුවක් ඇති කිරීමට පියවර ගත යුතුයි. පක්ෂය තුල කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි එක්සත්ත්ව ඉදිරියට ගෙන යන බව පක්ෂ නායකයා වශයෙන් සඳහන් කරන්න කැමතියි. ඇති කිරීමට නියමිත සන්ධානයේ වැඩකටයුතු ඉතා ඉක්මනින් අවසන් කරන ලෙස පක්ෂ නායකයන්ටත්, පක්ෂ නිලධාරීන්ටත් මම උපදෙස් ලබා දී තිබෙනවා.

මෙහි දී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය එක්සත්ත්ව එක්සිත්ව කටයුතු කරමින් ඉදිරි මැතිවරණ සියල්ල ජයග්‍රහණය කොට වසර 10ක් අඛණ්ඩ පාලනයක් ගෙන යන බවයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ මේ රට ජාත්‍යන්තර වශයෙන් කොන් වී පැවතුණු බව පැවසූ අකිල විරාජ් කාරියවසම් මහතා එදා විදේශ රටකින් ණය මුදලක්වත් ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබූ බවත් ඒ රට නිසි මගට ගෙනවිත් ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස ආරක්ෂා කරමින් රට සංවර්ධනය කොට ඉදිරියට ගෙන ආ බව පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කොලොන්නේ, රෝහිණි විජේරත්න, ඉම්රාන් මහරුෆ් යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලනඥයන් විශාල පිරිසක් සහභාගිව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *