ශ්‍රී ලංකාවේ ත්‍රස්තයන්ගේ නම් ජාත්‍යන්තර ලේඛනයට ඇතුළත් කරන්න අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) –ලෝකයේ හඳුනාගත් ප්‍රබල ත්‍රස්තවාදීන් පනස් දහසක ප්‍රමාණයක් සිටින අතර එම ත්‍රස්තවාදීන්ගේ ජාලයට ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් ත්‍රස්තවාදීන්ගේ සියලු විස්තර ඇතුළත් කිරීමට අවසර ලබා දුන් බව ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයේ ලේකම් ජුරගීන් ස්ටොක් මහතා පවසයි.

මීට වසර පනහකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයේ සාමාජිකත්වය දරා සිටියත් ජාත්‍යන්තර පොලීසිය මගින් මෙහෙයවන ලෝකයේ හඳුනාගත් ප්‍රබල ත්‍රස්තවාදීන්ගේ ජාලයට ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන්ගේ විස්තර ඇතුළත් කිරීමට ලැබූ මේ ප්‍රථම අවස්ථාව වෙයි.

ඒ අනුව මේ රටේ විවිධ වූ ත්‍රස්තවාදී සංවිධාන බිහිකරගෙන ජාතික ආරක්ෂාවට බලපෑම් කරන සියලු ත්‍රස්තවාදී නායකයන් සහ ඔවුන්ගේ ප්‍රබල ගෝලයන් සම්බන්ධ තොරතුරු ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගේ ජාලයට ඇතුළත් කර ඔවුන් පිළිබඳ ලෝකය පුරා දැන ගැනීමට ඉඩ හැරීම මේ හරහා සිදුකරනු ලැබීම සහ මෙරට ජාත්‍යන්තර පොලීසියට ලෝක ත්‍රස්තවාදී ජාලය පිළිබඳ නිරීක්ෂණය කිරීමට ද මේ හරහා අවස්ථාව සළස්වා තිබේ.

එසේ වුවද මෙරට ශ්‍රී ලාංකිකයකු ජාත්‍යන්තර ප්‍රබල ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ වී එම සංවිධානයට එම රටවල සිට ත්‍රස්තවාදී කටයුතුවල ප්‍රබලලෙස යෙදී සිටී නම් එම ලාංකිකයාගේ නම ඊට ඇතුළත් වී තිබිය හැකි වෙයි.

මෙතෙක් කාලයක් මෙම අවස්ථාව මෙරටට නොලැබී තිබුන ද පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය මගින් මෙරට තුළ ඇති වූ එම ඛේදවාචකය අවස්ථාවේ එහි කණ්ඩායමක් මෙරටට පැමිණ ත්‍රස්තවාදීන් හඳුනා ගැනීමටත් එම අපරාධයට සම්බන්ධ වූවන් සම්බන්ධ තොරතුරු මෙරට ආරක්ෂක අංශවලට ලබා දීම ඇතුළු විවිධ ආකාරවලින් ජාත්‍යන්තර පොලීසිය ශ්‍රී ලංකා රජයට උදව් කර තිබේ.

මෙම උදව්වලින් පසු මෙරට දැනට පවතින තත්ත්වය සහ පස් දෙනකුගෙන් සමන්විත ජාත්‍යන්තර පොලිස් කණ්ඩායම මෙරටට පැමිණ කරන ලද කටයුතු සම්බන්ධයෙන් පසු විපරමක් කිරීම පිණිස ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයේ ලේකම් ජුර්ගීන් ස්ටොක් මහතා පෙරේදා මෙරටට පැමිණ ඇත. ඒ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් හමුවී පසුගිය පාස්කු ප්‍රහාරය සහ ජාත්‍යන්තර පොලීසිය විසින් මෙරටට සහාය ලබා දීමත් ඉදිරියේ දී ජාත්‍යන්තර පොලීසිය මගින් මෙරටට මේ ආකාරයෙන්ම සහයෝගය ලබා දෙන බවත් පවසා ජාත්‍යන්තර පොලීසිය ලබා දුන් එම සේවය ජනාධිපතිවරයා විසින් ඇගයීමට ද ලක්කර ඇති අතර ජාත්‍යන්තර පොලීසියට එම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්ද ලේකම්වරයා සිය කෟතඥතාවය පළකර තිබේ. ඉන් අනතුරුව ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයේ ලේකම් ස්ටොක් මහතා කැඳවා ඊයේ කොළඹ දී මාධ්‍ය හමුවක් පැවැත්වීය එම මාධ්‍ය හමුව වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙරට ජාත්‍යන්තර පොලිස් ඒකකය මගින් සංවිධාන කර තිබුණි.

මෙම අවස්ථාවේ දී ජාත්‍යන්තර පොලිස් මූලස්ථාන ලේකම්වරයා විසින් පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය අවස්ථාවේ ජාත්‍යන්තර පොලිස් කණ්ඩායමකට මෙරටට පැමිණ සිය නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවස්ථාව සැළැස්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් සිය ප්‍රශංසාව කරමින් කියා සිටියේ පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් විදෙස් රටවලට පැන ගැනීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන් පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර පොලීසිය මගින් මෙරට ජාත්‍යන්තර පොලීසියට ලබා දීමට හැකිවූ බවයි. ලෝකයේ රටවල් 194ක් ජාත්‍යන්තර පොලීසියේ සාමාජිකත්වය ලබා සිටින අතර එම රටවල්වලට යම් ඛේදවාචකයකට මුහුණ දීමට සිදු වූ විට ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය ඒ සම්බන්ධ සිය අවධානය යොමු කර ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බවයි. ඒ අනුව මෙතෙක් කාලයක් ඔවුන්ගේ ජාලයට මෙරට ත්‍රස්තවාදී අපරාධකරුවන්ගේ තොරතුරු ඇතුළත් කිරීමටත් ඒ ජාලය අධ්‍යයනය කිරීමටත් අවස්ථාව සළසා දී ඇති බවයි.

මෙම අවස්ථාවේ දී මේ වනවිට මෙරටට පසුගිය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තවාදී කණ්ඩායම්වල බලපෑම තවදුරටත් තිබෙනවාද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දුන් ජාත්‍යන්තර පොලිස් මුලස්ථාන ලේකම්වරයා කියා සිටියේ මෙරට ආරක්ෂක අංශ මගින් ඒ සම්බන්ධව මෙහෙයුම් කරන බැවින් එම ආරක්ෂක අංශ ඊට පිළිතුරු ලබා දිය යුතු බවයි. ඒ අතර එවැනි තර්ජනයක් ජාත්‍යන්තර වශයෙන් දැන ගැනීමට හැකි වුවහොත් ඒ සම්බන්ධ දැනුම් දීම ජාත්‍යන්තර පොලීසිය මගින් සිදු කරන බව ද කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රංජිත් වෙදසිංහ මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ තවුහිද් ජමාත් ඇතුළු එම ත්‍රස්තවාදී කණ්ඩායම්වලින් රටට එල්ල වී තිබූ තර්ජන මේ වන විට සම්පූර්ණයෙන්ම මර්ධනය කර ඇති බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකයේ නිලධාරීන් ද සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − eight =