තොරතුරු සන්නිවේදන තාක්ෂණ නවෝත්පාදන සතියක්

(කොළඹ, ලංකාපුවත්) – තොරතුරු සන්නිවේදන තාක්ෂණ නවෝත්පාදන සතියත් ප්‍රකාශයට පත්කෙරේ. ලබන ඔක්තෝබර් මස 07වනදා සිට 14වනදා දක්වා මෙම සතිය ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව 2022 දී නවෝත්පාදන හා ඩිජිටල් සවිබල ගැන්වීම සහිත වු තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ ඉලක්ක සපුරා ගැනීමේ එක් අරමුණක් වශයෙන් මෙම සතිය ප්‍රකාශයට පත් කර තිබේ.

තවද පුරවැසියන්ගේ දෛනික ජීවිතයට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය ප්‍රවර්ධනය කිරීමටත් නවෝත්පාදන සංස්කෘතියක් බිහිකිරීම උදෙසාත් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමටත් මෙය රුකුලක් වෙතැයි අපේක්ෂා කෙරේ.

මෙම සතිය තුලදී මෙරට ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ ආයතන කර්මාන්තකරුවන් විද්වතුන් ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රජයේ සහ පෞද්ගලික් අංශයේ සහභාගිත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාවට නැංවේ.
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙම සතිය සංවිධානය කෙරේ.

මෙම සතිය පිලිඹදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී පැවති අතර එහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ට උපදේශක ඉන්දික ද සොයිසා මහතා සදහන් කළේ තොරතුරු තාක්ෂණයෙන් තමන්ට මෙන්ම ගමට රටට ලබා ගත හැකි ප්‍රතිලාබ පිලිබදව දැනුවත් වීමට මෙම සතිය තුලදී මහගු අවස්ථාවක් ජනතාවට උදාවන බවයි.

එමෙන්ම 2022 දී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 5ක අපනයන ඉලක්කයක් අපේක්ෂා කරන බවත් තවද එම ක්ෂේත්‍රයෙන් අපේක්ෂිත නව රැකියා ගණන ලක්ෂ 2ක් පමණ වන බවත්ය. එම ඉලක්කයන් සපුරා ගැනීමටද මෙය රුකුලක් වනු ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වු ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා මෙහිදී සදහන් කළේ ජපානය නෝර්වේ නෙදර්ලන්තය පින්ලන්තය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් මෙවැනි විශේෂ සති ප්‍රකාශයට පත් කරන බවත් ශ්‍රී ලාංකික ජනතාවටද නවමු අද්දැකීමත් ලබා ගැනීමට මෙමගින් හැකිවන බවත්ය.

කොළඹ ගලඩාරී හෝටලය, ෂැංග්‍රීලා හෝටලය, නෙලුම් පොකුණ රගහල ආදී ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සාකච්ජා සම්මන්ත්‍රණ වැඩමුළු සහ දැනුවත් කිරීම් ඇතුළු වැඩසටහන් රැසක් මෙම සතිය තුලදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දන රොද්‍රිගූ BCS හිටපු සභාපති රුවන් අමරසේකර CSSL ප්‍රභාත් සමින්ද්‍ර ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සංගමයේ සභාපති රනිල් රාජපක්ෂ FITIS සභාපති අබ්බාස් කම්රුදීන් WOMAN CHAMBER FOR DIGITAL සභාපතිනී ජයෝමී ලොකුලියන යන මහත්ම මහත්මීන් සිය ආයතන මගින් මෙම සතියට අදාලව සිදු කෙරෙන වැඩසටහන් පිලිබදව මෙහිදී අදහස් දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *