බන්ධනාගාර දෙපාර්තමේන්තුව, සමෘද්ධියෙන් ඉල්ලීමක් කරයි

(කොළඹ, ලංකාපුවත්) – සමෘද්ධීලාභියකු අධිකරණය මගින් වරදකරුවකුවී බන්ධනාගාරගත වුවහොත් එම පවුලට අදාළ සමෘද්ධි සහනාධාරය නැවැත්වීමට පියවර නොගන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විජයනාත් තෙන්නකෝන් මහතා සමෘද්ධි කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සඳහා සමෘද්ධි කොමසාරිස්වරයා එකඟතාවය පළ කළ බවත් ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගනු ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියයි.

සමෘද්ධි සහනාධාරය ලාභියා සැම විටම නිතිගරුකව සමාජ විරෝධී ක්‍රියාවල නිරත නොවී යහපත් පුරවැසියකු ලෙස ජීවත් වන්නේ ය යන ස්ථාවරත්වයේ සිට පුද්ගලයකු වෙත සමෘද්ධි සහනාධාරය පිරිනමන අතර අදාල සමෘද්ධි ලාභීයා එම කොන්දේසිය කඩ කළ නිසා සිරගතවුවහොත් සමෘද්ධි සහනාධාරය අත්හිටුවනු ලබයි.

එහෙත් බන්ධනාගාර කොමසාරිස්ජනරාල්වරයා පෙන්වා දෙන්නේ මෙසේ සිරගත වන පුද්ගලයා නොව ඉන් පීඩාවට පත්වන්නේ ඔහුගේ හො ඇයගේ පවුලේ සාමාජිකයින් බවයි. මේ නිසා එම දූදරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට බාධාවක් පැමිණෙන බැවින් එම පවුලට නොකඩවා සමෘද්ධි සහනාධාරය ලබා දීම සිදු විය යුතු බව ද බන්ධනාගාර කොමසාරිස්ජනරාල්වරයා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *