ශ්‍රීලනිප 68 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් 03වනදා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරය පක්ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 03 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (28) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදී ය.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි පක්ෂ සංවත්සර උත්සවය ඉතාමත් අලංකාරවත් ලෙස හා ඉහළ ම ගුණාත්මක බවින් යුතුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.

දැනටමත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ලෙස අප බලාපොරොත්තු වූ ප්‍රමාණය මෙන් තුන් ගුණයක් එයට සහභාගී වෙන්න ඉදිරිපත්වීමක් තිබෙනවා. නමුත් තිබෙන ඉඩකඩත් සැලකිල්ලට ගෙන තමයි අපි මෙම ස්ථානය ගන්නේ. ක්‍රීඩාංගණයක් තෝරා ගන්න තමයි අපි මූලිකව කල්පනා කළේ. නමුත් මේ දිනවල පවතින වර්ෂා තත්ත්වය සහ සියලු කාරණා සැලකිල්ලට ගෙන තමයි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය තෝරා ගත්තේ.

අපි මේ රැස්වීමට සම්බන්ධ කර ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරික පිරිස්. ඒ නිසා අපි අපේ පාක්ෂිකයන්ට කනගාටුව ප්‍රකාශ කරනවා ඒ සියලුම දෙනාට මේ ශාලාවට ඇතුළුවීමට තිබෙන ඉඩකඩ මදිවීම නිසා ඒ අය කැඳවීමට නොහැකිවීම පිළිබඳ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්, මන්ත්‍රීවරුන්, පළාත් සහා, ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන්, කොට්ඨාස නායකයන් තමයි මේ සඳහා සහභාගි වෙන්න නියමිත වන්නේ. ලංකාවේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් මේ සඳහා අපි අපේ නායකයන් මෙයට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන් ම උතුරු නැඟෙනහිරින් විශාල වශයෙන් උනන්දුවක් තිබෙනවා මේ සඳහා සහභාගී වෙන්න. නමුත් අපට තිබෙන තත්ත්වයන් තුළ තමයි ඉඩකඩක් ලබා දෙන්න වෙන්නේ.

අපි ඉතාමත් පැහැදිලිව මීට පෙරත් සඳහන් කර තිබෙනවා අපි මේ පක්ෂය නැති වෙන්න තියන්නේ නෑ. වෙනත් පක්ෂයක් තුළ දියවෙන්න අපි ඉඩ තියන්නෙත් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගෙන එය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. දැනටමත් අපේ සංවිධායකවරුන්, කොට්ඨාස නායකයන්, ශාඛා සමිති ඒ සියල්ල ම අලුතින් පත් කරමින් ඒ අයට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් අවශ්‍ය සංවිධාන කටයුතු ඉතාමත් සාර්ථක සිදුකෙරෙමින් පවතිනවා. ඒ වගේම, වංචා දූෂණවලට සම්බන්ධ නොවූ, අවංක, පිරිසුදු, චෝදනා නැති, වැරදි ක්‍රියාවලට සම්බන්ධ නැති, රට ගැන හැඟීමක් ඇති පිරිසක් පක්ෂයට සම්බන්ධ කර ගැනීමටත් කටයුතු කරනවා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසුවේ, පක්ෂ සම්මේලනය වෙනුවෙන් සැරසිලි කිරීමේදී පොලිතීන් භාවිතා නොකර පරිසර හිතකාමී ලෙස එම කටයුතු සිදුකරන ලෙස සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *