ශ්‍රී ලංකාවේ කිතු බැතිමතුන්ගේ විශ්වාසයට තුති

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ පාස්කු ඉරු දින සිදු වූ එම ඛේදවාචකය පිළිබඳ දැනගත් මොහොතේ සියලු දෙනා එකම පවුලක සොයුරු සොයුරියන් නොවේ දැයි සිතුණු බව කැන්ටබරියේ අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බ් හිමිපාණෝ ඊයේ (29) මීගමුව කටුවපිටිය දෙව්මැදුරේ දී පැවැසූහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ පාස්කු දින ප්‍රහාරයට ලක්වූ කටුවපිටිය දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.

මෙදින පෙ. ව. 10.45ට පමණ දේවස්ථානය වෙත සැපත් වුණ කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන් ‍කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රධානත්වයෙන් යුතු ගිහි පැවිදි කණ්ඩායමක් විසින් දේවස්ථානයට ඇතුළු වන ප්‍රධාන දොරටුවේ සිට පිළිගෙන උත්සවාකාරයෙන් දේවස්ථානය වෙත කැඳවා ගෙන යන ලදි.

තව දුරටත් අදහස් දැක්වූ කැන්ටබරියේ අගරදගුරු හිමිපාණෝ මෙසේ ද පැවැසූහ.

මේ ප්‍රහාරය අපි දැනගත් මොහොතේ නිහඬතාව ආරක්ෂා කරමින් ඔබ වෙනුවෙන් යාඥා කළා. ප්‍රහාරයට ලක් වූ ඔබව වේදනාවට ලක් වූ ඔබව දැක ගැනීමට දැන් මට වාසනාව ලැබිලා තියෙනවා. දැන් අපට දැනෙනවා ක්‍රිස්තුස් වහන්සේ තුළ අපි සියලු දෙනාම එක්කෙනෙක් කියලා.

මේ වීදුරු කුටියේ තිබෙන එදා ප්‍රහාරයේ ලේ තැවරුණු ක්‍රිස්තුස් වහන්සේගේ පිළිරුව මම දැක්කා. ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලෙයින් තෙත් වුණු එම ප්‍රතිමාව දැක්කාම ඔබගේ විශ්වාසය ඔබගේ ආත්ම ශක්තිය ප්‍රේමය මම දකිනවා ස්වාමීන් වහන්සේ තුළින්. සැබෑ ක්‍රිස්තුවරයන්ගේ ජීවිතයත් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ අපෙන් ඈත් වූ කෙනකු නොවන බවත් උන්වහන්සේ අපගේම ලෙයින් පරිපූර්ණ වූ කෙනකු හැටියටයි අප දකින්නේ.

මුළු ලෝකය පුරාම සියලු දෙනාම ඔබ වෙනුවෙන් යාඥා කරනවා. ඔබත් සමඟ සිටිනවා. ඔබව සනසන්න මට ඇත්තෙන්ම වචන නැහැ. මට කියන්න තියෙන්නේ එකම දෙයයි ශ්‍රී ලංකාවේ කිතු බැතිමතුනගේ විශ්වාසයට ස්තූතියි කියන එක පමණයි.

මේ හේතුවෙන් තුවාල වුණු මිය ගිය සියලු දෙනාම යම් කිසි දවසක ස්වාමීන් වහන්සේ තුළ උත්ථාන වන බව විශ්වාසයි. දුක වේදනාව සිත් තැවුල සියල්ල සාමය තුළින් ජයග්‍රහණයකට හැරුණු බව මෙතන සිටින ඔබ සැමට අත්දැකීමට ලැබෙනවා.

ක්‍රිස්තුස් වහන්සේ ඔබත් සමඟ ඔබ ළඟින් සිටිනවා දැනෙයි කියා මම විශ්වාස කරනවා. ඔබත් සමඟ උන්වහන්සේ ගමන් කරනවා කියලත් මට හිතෙනවා. උන්වහන්සේගේ ඔබට ඇති ආදරය තුළ ජීවිතය හා විශ්වාසය උන්වහන්සේගෙන් ලැබෙන බව ඒකාන්තයි.

ශ්‍රී ලංකාවම ක්‍රිස්තුස් වහන්සේගේ ආදරයෙන් කරුණාවෙන් පිරුණු රටක් බව මට පේනවා යැයි ‍රදගුරු හිමිපාණෝ පැවැසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − two =