ව්‍යාපෘතිවල දේපොළ වන්දි කෝටි 5650ක් ගෙවා අවසන්

(කොළඹ, ලංකාපුවත්) – ගත වූ අවුරුදු තුනහමාරක (3 1/2) කාලසීමාවේ රටේ සිදු කළ සංවර්ධන ව්‍යාපෘතිවලට අවශ්‍ය වූ ඉඩම් හා මහජන දේපොළ අත්පත් කර ගැනීම් වෙනුවෙන් රජය රුපියල් කෝටි 5650ක් (රු. බිලියන 56.5) තරම් අති විශාල වන්දි මුදලක් ගෙවා ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

සංවර්ධනය උදෙසා අවශ්‍ය මහජන දේපළ භීෂණයක් මවා බලහත්කාරයෙන් අත්පත් කරගත් ගෝඨාබිය රාජපක්ෂවරයාගේ කාලයේ නොගෙවා තිබූ රුපියල් කෝටි 1000ක වන්දි මුදලක් ද අප විසින් ගෙවා දැමූ මේ මුදලට ඇතුළත් බවද මංගල සමරවීර මහතා සඳහන් කෙළේය.

මේ අන්දමට මහජනතාවගේ දේපොළ අත්පත් කර ගැනීමේදී නිසි වටිනාකම්වලට ජනතාවට වන්දි ගෙවීම අප සිදු කළ බවත් ගෝඨාබිය රාජපක්ෂ මහතා නම් එසේ ක්‍රියා කොට නැති බවත් කී මංගල සමරවීර මහතා මේ අනතුරින් වඩාත් විනයගරුක පාලනයක් සිදු කර තිබෙනුයේ කවුරුන් දැයි වටහා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙළේය.

අද වන විට විනයගරුක පාලනයක් ගැන මහා විශාල හඬක් නඟන ගෝඨාබිය රාජපක්ෂ මහතා එදා ජනතා දේපොළ අත්පත් කර ගැනීමේදී හමුදා ඇඳුම් අන්දවා මැරයන් සමඟ වාහන යවා භීෂණයක් මවා කටයුතු කළ අයුරු රහසක් නොවේ යැයි ද මුදල් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

හමුදාව සේ මැයෙන් යොමු කර ජනතාවට ශත පහක වන්දි මුදලක් නොගෙවා අත්කරගත් දේපොළ සංවර්ධනය කිරීම වෙනුවට නීත්‍යානුකූලව මහජනතාවගේ ඉඩම් හා දේපොළ අත්පත් කර ගනිමින් අද වන විට වෙළෙඳ පොළේ පවතින නියමිත වාණිජ වටිනාකම් මත වන්දි ගෙවීම් සිදු කරමින් කටයුතු කිරීම රජයේ ‍පිළිවෙත බව ද ඇමැතිවරයා සඳහන් කෙළේය.

කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශයේ ඊ‍යේ (29) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මුදල් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මාතර හක්මන මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියට වැය වන මුළු මුදල රුපියල් මිලියන 2000ක් බව උදාහරණයක් ලෙස ගෙන හැර දක්වමින් අදහස් දැක් වූ මංගල සමරවීර මහතා මින් රුපියල් මිලියන 1330ක්ම අත්පත් කරගත් ඉඩම් වෙනුවෙන් ගෙවීමට සිදු වන වන්දි මුදල් බව කීය. මාර්ගයේ ඉදිකිරීම්වලට රුපියල් මිලියන 760ක් වැයවී ඇත. ඒ අනුව එදා හා අද රටේ සංවර්ධනයට රජයන් දෙක ක්‍රියා කරන ආකාරය පිළිබඳ පොදු මහජනතාවට මැන බලා ගැනීමට අවස්ථාව උදාවී ඇතැයි ද ඇමැතිවරයා අවධාරණය කෙළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *