කටුනායක සිට වේයන්ගොඩට නව දුම්රිය මඟක්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් කටුනායක ගුවන්තොටුපොල සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එමඟින් කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන විදෙස් සංචාරයින්ට මෙන්ම දේශීය මගීන්ට කොළඹ නොගොස් දුම්රියෙන්ම වේයන්ගොඩ හරහා නුවර, බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලට ගමන් කිරීමේ හැකියාව උදාවනු ඇතැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ එම කටුනායක – වේයන්ගොඩ නව දුම්රිය මාර්ගය ඉදි කිරීමට සඳහා ඇති හැකියාව මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශය මූලික කටයුතු සොයා බලමින් සිටින බවයි. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදී අර්ජුන රණතුංග ඇමතිවරයා මේ බව පැවසීය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේදී ගම්පෙරළිය කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිවාස ආධාර බෙදා දීමේ උත්සවයක් පැවැත්වුණේ ඊයේ දිනයේයි. ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසනයේ හිටපු සංවිධායක රුවන් රණතුංග මහතාද එක්ව සිටීමද විශේෂත්වයක් විය. ඔහු එහිදී අදහස් දක්වමින් පැවසුවේ ගම සහ රට සංවර්ධනයට ඇති හොදම මග ජාතික ආණ්ඩුව බවයි.

”ජාතික ආණ්ඩු සංකල්පයට හුඟ දෙනෙක් කැමැති වුණේ නැහැ. නමුත් මම ජාතික ආණ්ඩු සංකල්පයට කැමැති කෙනෙක්. අපි දේශපාලනයට ආවේ මිනිස්සුන්ට සේවය කරන්න. ඒ නිසා මැතිවරණයක් එන්නේ නැතිව තව අවුරුදු දෙකක් විතර ලැබුණොත් මීට වඩා සේවාවක් මිනිස්සුන්ට කරන්න අපිට ලැබෙනවා. අද අපි සංවර්ධනය ගැන කථා කරනවා. නමුත් මේ මිනුවන්ගොඩ ආසනයේ වැසිකිළි පහසුකම් නැති පවුල් 400ක් පමණ ඉන්නනවා. අපිට පන්සලක උළු ටික තියන්න රුපියල් පනස්දහසක්වත් දෙන්න බැරි තත්ත්වයක් තිබුණා. නමුත් අද අපි ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මිනුවන්ගොඩ ආසනයේ විශාල වශයෙන් සංවර්ධන කටයුතු රැසක් සිදුකරමින් තිබෙනවා. ඉදිරියේදී අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ එම සංවර්ධන ව්‍යපෘතිය තවත් වේගවත් කිරීමටත් අපි අපේක්ෂා කරනවා…”යිද රුවන් රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *