පාකිස්තාන සංචාරයෙන් තිසර ඉවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කැරිබියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තමන්ගේ සහභාගිත්වය ස්ථිර කර ඇති තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා මෙම මාසයේදී දියත්වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයෙන් ඉවත්වනු ඇතැයි වාර්තා වෙයි.

දැනට ලැබී ඇති ආරංචිවලට අනුව සම්පූර්ණ කැරිබියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ඔහු තම සහභාගිත්වය මේ වනවිටත් ස්ථිර කර ඇති බවය. මෙම මාසයේ 4 වැනිදා සිට ආරම්භවන කොදෙව් ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ශාන්ත ලුසියා ෂූක්ස් කණ්ඩායම වෙනුවෙනි. මීට පෙර ප්‍රකාශ වුණේ ඔහු එම තරගාවලියේ මුල් තරග දෙකට ක්‍රීඩා නොකරන බවයි. කෙසේ නමුත් නවසීලන්තය සමඟ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට තිසර නම් නොකිරීමට තේරුම් කමිටුව කටයුතු කර තිබිණි. එලෙස තමන් ශ්‍රී ලංකා කණ්ඩායමට නම් නොකිරීමත් සමඟ සම්පූර්ණ වශයෙන් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන බව ඔහු ප්‍රකාශ කළේය.

එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරග වෙනුවෙන් ශ්‍රී ලංකා පිල පාකිස්තාන සංචාරය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 27 වැනිදාය. එහෙත් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ෂූක්ස් කණ්ඩායමේ අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 29වැනිදාය. එම කණ්ඩායම ප්‍රිමියර් ලීග් අවසන් තරගයට සුදුසුකම් ලබාගන්නේ නම් පාකිස්තානය සමඟ පැවැත්වෙන තරගාවලියට තිසර සහභාගි නොවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + twelve =