ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා රජය සමඟ ජපාන රජය ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම් අනුව ශ්‍රී ලාංකිකයින්ට ජපානය තුළ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන ක්‍රම 2ක් මගින් මෙම රැකියා අවස්ථාවන් ශ්‍රි ලාංකිකයින්ට ලබාගත හැකි බව කාර්යංශය සදහන් කරනු ලැබේ.

  1. තාක්ෂණික සේවාස්ථ පුහුණුව සමඟ රැකියා කිරීම සඳහා වන ගිවිසුම – NEW TITP
  2. විශේෂිත කුසලතා සහිත අය සඳහා රැකියා ලබාදීමේ ගිවිසුම – SSWRP

NEW TITP

තාක්ෂණික සේවාස්ථ පුහුණුව සමග රැකියා කිරීම සදහා වන ගිවිසුම යටතේ, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් හෝ කාර්යාංශ අනුමැතිය සහිත පෞද්ගලික රැකියා නියෝජිත ආයතන මගින් මේ සඳහා ඉදිරිපත් විය හැකිය.

කාර්යාංශය මගින් IM ජපන් ආයතනයට සිදුකරන බදවා ගැනීම් නොමිලේ සිදුකරන අතර, තෝරා ගන්නා තරුණ තරුණියන්ට සිය පෞද්ගලික වියදම් සදහා යම් පිරිවැයක් දැරිය යුතුවේ. මෙම රැකියා සදහා අයදුම්කරන ශ්‍රමිකයින්ට ජපන් භාෂා ප්‍රවීණතාවය පිළිබද පිළිගත් සුදුසුකමක් තිබිය යුතු වේ. (N5/N4)

කාර්යාංශයේ අනුමත පෞද්ගලික රැකියා නියෝජිත ආයතන සිදුකරන බදවා ගැනීම් සදහා සුදුසුකම් ලත් තෝරාගත් අයදුම්කරුවන්ගෙන් ගාස්තු අය කළ හැකි අතර, එසේ අය කිරීම සදහා අනුමත කළ ගාස්තුව රුපියල් 350,000.00 ට වඩා අඩු විය යුතුය.

එසේ අනුමත කර ඇති ගාස්තුව කාර්යාංශ වෙබ් අඩවිය මගින් නිරීක්ෂණය කිරීමටද හැකිය.

තවද, ජපාන බදවාගැනීම් සදහා මේ වන විට බලපත්‍ර ලාභී රැකියා නියෝජිත ආයතන 51ක් සදහා ජපානයේ OTIT අනුමැතිය ලබාදී ඇත. එම අනුමැතිය ලත් රැකියා නියෝජිතායතන ලැයිස්තුව www.slbfe.lk වෙබ් අඩවිය මගින් නිරික්ෂණය කළ හැකිය.

SSWRP

විශේෂ කුසලතා සහිත අය සදහා වන ගිවිසුම අනුව ජපානය විසින් හදුන්වා දී ඇති විශේෂ කුසලතා සහිත ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා සදහා යාමට අවසථාව සලසා දෙයි.

මෙම ගිවිසුම අනුව ක්ෂේත්‍ර 14ක් යටතේ රැකියා අවස්ථාවන් ලබාගත හැකිය. සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදු කරන්නන් (SSWRP), යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නැව් කර්මාන්තය, රථවාහන හා නඩත්තු, ගුවන්යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්, කෘෂිකර්මාන්ත, ධිවර හා ජලජීවි වගාව, ආහාර පාන නිශ්පාදනය, ආහාර සේවා සැපයුම් එම ක්ෂේත්‍ර 14 වේ.

මෙම SSWRP වැඩසටහන සදහා කිසිඳු දේශීය රැකියා නියෝජිත ආයතනයකට බඳවාගැනීම් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් අවසර ලබාදී නොමැත.

මෙම වැඩසටහන මගින් ජපානයේ රැකියා සදහා යාමට සුදුසුකම් තිබෙන අපේක්ෂකයින් සදහා කාර්යාංශ වෙබ් අඩවියේ පළකර ඇති අයදුම්පත්‍රය පුරවා කාර්යාංශය වෙත එවිය යුතුය.

එසේ එවීමෙන් පසුව එම සුදුසුකම් සහිත අයදුම්කරුවන් සදහා ජපානය විසින් ශ්‍රි ලංකාවේදී පවත්වන විශේෂ කුසලතා පරික්ෂණ පැවැත්වීමට කාර්යාංශය ඉදිරියේදී කටයුතු සිදුකරනු ඇත.

මේ පිළිබදව විවිධ වැරදි මත පළකරමින් පුද්ගලයින් නොමග යවන ව්‍යාජ පුද්ගලයින් හා ආයතන ජපාන රැකියා සදහා ඔවුන්ටද ශ්‍රමිකයින් යැවීමට හැකි බව හා රජයට සම්බන්ධ බව පවසමින් මුදල් අයකරන සිදුවීම් කාර්යාංශයට වාර්තා වෙයි.

එබැවින් ජපන් රැකියා සදහා මුදල් අයකරන පුද්ගලයින්ට හසු නොවන ලෙසත් එවැනි පුද්ගලයින් පිළිබදව තො‍රතුරු දන්නේ නම් කාර්යාංශයට ඒ පිළිබදව දැනුම් දෙන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජපන් රැකියා පිළිබද සියළු විස්තර www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් දැනගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *