දරුවන් මානවවාදීන් කිරීම ගුරුවරුන්ගේ වගකීමයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –දරුවන් විෂය ප්‍රවීණයන් මෙන්ම මානවවාදීන් බවට පත් කිරීමට ගුරුවරුන් මැදිහත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

දරුවකුගේ අනාගතය තීරණය වන්නේ ගුරුවරයාගෙන් බැවින් දරුවන් සම්බන්ධ තීන්දු තීරණවල දී ගැඹුරු අවබෝධයෙන් සහ මනුෂ්‍යත්වය පෙරටුකොට ගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ (02)කොළඹ පදනම් ආයතනයේ පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

2019 ජූනිමාසයේ දී පැවැත් වූ ගුරු තරග විභාගයට පෙනි සිටි 15,000ක් අයදුම්කරුවන් අතරින් පළමු වටය සඳහා 587 දෙනෙකු සඳහා මෙලෙස ගුරු පත්වීම් ප්‍රදානය කෙරිණි.

එම අවස්ථාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ උගත් සමාජයක් බිහිකර,සියලු දෙනාට සමාන අවස්ථා ලබා දී සමාජ සාධාරණත්වය තහවුරු කිරීම රජයේ අරමුණ බවයි.

ගුරු භූමිකාවේ පෞරුෂත්වයත්, විශ්වාසයත්, පැවැත්මත්, තහවුරු වීමට නම් තාක්ෂණික යුගයේ ගුරුවරයාගේ දැනුම ද ඊට අනුසාරීව යාවත්කාලීන කර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

ගුරු පත්වීම් ප්‍රදානය සංකේතවත් කරමින් දහදෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.එල්මුසම්මිල්, ඉසුරුදේවප්‍රිය, ගාමිණි තිලකසිරි, රංජිත්සෝමවංශ යන මහත්වරුන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.ජී. විජය බන්දු මහතා සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *