නඩු ප්‍රමාදයන් වැළැක්වීමට අධිකරණ ඩිජිටල්කරණයට

(කොළඹ, ලංකාපුවත්) – අධිකරණයේ පවතින නඩු ප්‍රමාදයන් වැළැක්වීමට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට ලක්කිරීමට කටයුතු කරන බව ඩිජිටල් යටිතල පහසුකම්, තොරතුරු තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙ‍රේරා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) පැවසීය.

අධිකරණ ක්‍රියාවලියෙන් පමණක් අල්ලස දූෂණය වැළැක්විය නොහැකි බවත්, දූෂණයෙන් වංචාවෙන් උපයන මුදල්වලට වටිනාකමක් ලබා නොදීමට වත්කම් බැරකම් පිළිබඳ ස්වයංක්‍රීය රාජ්‍ය ව්‍යුහයක් සකස් කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙන බව ද පෙරේරා මහතා කියා සිටියේය.

සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (03) පස්වරු 1.00 ට රැස්විය.

නිවේදන, ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු මහජන පෙත්සම් පෙත්සම් කාරක සභාවට යොමු කෙරිණි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු ඇසූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

අධිකරණ සංවිධාන පනත යටතේ නියෝගය විවාදයට ගැනිණ.

මෙම පනත ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමයන් හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා –

මෙම පනත ඉදිරිපත් කිරීම මඟින් අල්ලස දූෂණයට වැට බැඳීමට හැකියාව තිබෙනවා. අල්ලස් කොමිසමේ ඉල්ලීම මත හා අධිකරණ ඇමැතිවරයාගේ ඉල්ලීම පරිදි මෙය ඉදිරිපත් කරනවා. මේ යටතේ අල්ලස් පනතේ පස්වන කොටස සංශෝධනයට ලක්කරනවා.

අල්ලස් පනත යටතේ පස්වන කොටස යටතේ පවරන නඩු විභාගකොට තීරණය කිරීම පිණිස කොළඹ අධිකරණ කලාපයේ පවත්වන බස්නාහිර පළාතේ පළාත්බද මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නම් කිරීම සඳහා ගැසට් පත්‍රය ඇතුළත් නියෝග සංශෝධනය කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ‍ෙජනරාල්වරයා විසින් ‍හා අධිකරණ ‍හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ඉල්ලීම් කර තිබෙනවා. එය අද ඉදිරිපත් කරනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා (එජනිස) –

මෙම නියෝගවලට අපේ විරෝධයක් නැහැ. නමුත් නව අධිකරණ ස්ථාපිත කරලා ඒ ඒ අධිකරණවලට යොමු කරන නඩු දිහා බැලූ විට එහි දේශපාලනය පෙනෙනවා. මේ නව අධිකරණවල සියලුම නඩු ති‍ෙබන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණයි.

නි‍යෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

සෙනෙවිරත්න මහතා –

අප ඒකාබද්ධ විපක්ෂය හැටියට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අටදෙනෙකුට විරුද්ධව නඩු පැවරුවා. ඒ නඩු තවමත් විභාගයට අරගෙන නැහැ. අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කළා. ඒ ගැන තවමත් නඩු ගොනුකරලා නැහැ.

තාක්ෂණ පර්යේෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙ‍රේරා මහතා –

මෙය කාලෝචිත පනතක්. ජෝන් සෙනෙවිරත්න මහතා නව අධිකරණ ගැන කතා කළා. විශේෂ අධිකරණ පිහිටුවා තිබෙන්නේ පසුගිය රජයේ දූෂණ සෙවීමට පමණක් නොවෙයි, අපේ රජයෙන් සිදුවුණා කියන මහ බැංකු ගනුදෙනු චෝදනා විභාග කරනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අධිචෝදනා පත්‍ර භාරදී තිබෙන්නේ මේ අධිකරණවලිනුයි. උදර්පනය සඳහා වූ කටයුතු කරනවා. නීතිය යුක්තිය ක්‍රියාකිරීමේදී අසාධාරණ ලෙස වත්මන් රජය කටයුතු කර නැහැ. නිදහස් කරන තීන්දුවක් ලැබුණම එය අගයන්නත්, වැරැදිකරු කළාම එය හොඳ නෑ කියන්නත් විපක්ෂය කටයුතු කරන්න හොඳ නැහැ. රටේ අධිකරණ පද්ධතියේ තිබෙන ප්‍රමාදය වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ කාඩර් එක 218 දක්වා අප වැඩි කළා. රජයේ අධිනීතිඥවරුන්ගේ වැටුප් සාධාරණ ලෙස වැඩි කළා. විනිසුරුවන්ගේ වැටුප් අප වැඩි කළා. මහාධිකරණ විනිසුරුවන් 75 සිට 105 දක්වා වැඩිකර තිබෙනවා. අපේ රජය යුක්තිය පසිඳලීමට තිබෙන උනන්දුව මෙයින් පෙනෙනවා. පක්ෂ පාට භේදයක් නැතුවයි මේ නඩු පවරන්නේ.

අපේ රජය කාලයේ බරපතළ අපරාධ අඩුවෙලා තිබෙනවා. 2015 සිට 2019 දක්වා මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, බරපතළ අපරාධ අඩුවෙලා තිබෙනවා. මේ රටේ යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂමතාවයේ යම් අඩුවක් තිබෙනවා. යුක්තිය පසිඳලන බව ජනතාවට එය දැනෙන්නට ඕන. මහාධිකරණයේ පවතින නඩුවක් අවසානය වන්න සාමාන්‍යයෙන් වසර 17 ක් ගතවෙනවා. ඒ නිසා පහසුකම් ගණනාවක් අප ලබා දී තිබෙනවා. ඕනවට වඩා වේගයෙන් නඩු විභාග කරලා තීන්දුවේ ගුණාත්මකභාවය අඩුකර ගන්න අප කැමැති නැහැ. මැලේසියාවේ මිනීමැරුමක් වැනි නඩුවක් වසර එකහමාරක් ඇතුළත නිමකරනවා. එම රටේ අධිකරණ ක්‍රියා පටිපාටියම ඩිජිටල්කරණයට ලක්කර තිබෙනවා. නඩුව ගොනු වූ දිනයේ සිට සියල්ල ඩිජිටල්කරණය කර තිබෙනවා. නඩුවේ පරිපාලන පැත්තෙන් විනිසුරුවරයන් මලයාසියාවේදී නිදහස් කර තිබෙනවා. ඒ නිසා එම රටේ විනිසුරන් සාක්ෂි විශ්ලේෂණය කර තීන්දු දෙනවා. අපිත් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට ලක්කිරීමට කටයුතු කරනවා. මේ සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අධිවේගී මාර්ගයේ එක් කිලෝමීටරයකට යන මුදලක් තමයි වැය වෙන්නේ.

තොරතුරු දැනගැනීමට ඇති අයිතිය රටේ පුරවැසියන් අද ලබා ගත්තා. පාසල්වලට දරුවන් දැමීමට මව්පියන් නීතිවිරෝධී වැඩ කරනවා. මේ ක්‍රියාවලිය හරහා සමාජ අසාධාරණයක් ඇතිවෙලා තිබෙනවා. මේවා පිළිබඳ අද යම් සීමාවක් ඇතිවෙලා. තොරතුරු පනත යටතේ මේ ව්‍යාජ ලේඛන ගැන දැනගැනීමට හැකියාව තිබෙනවා. මේ තත්ත්වය ඇතිවුණේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත වූ නිසයි. කරු ජයසූරිය මහතාට මේ ගැන ස්තූතිවන්ත වෙනවා. මේ නිසා රාජ්‍ය ආයතන ජනතාවට වගකියන තත්ත්වයක් නිර්මාණය වෙලා.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීම ගැන අධිකරණ ක්‍රියාවලියේදී අඩුපාඩුකම් අප හඳුනා ගත්තා. සංහෘති තනි නීතියක් අප ඉදිරියේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වෙනවා. අල්ලස හා දූෂණ යන ප්‍රශ්නය නඩු අසා අවසන් කිරීම පමණක් කෙළවර කළ නොහැකියි. දූෂණයෙන් උපයන මුදල් එළිදරව් කර ගැනීමට පද්ධති ගොඩනැංවිය යුතුයි. ලෝකයේ ප්‍රධාන රටවලත් අල්ලස, දූෂණය තිබෙනවා. පින්ලන්තයේ රජය සමඟ මා කතා කළා. එම රටේ ආදායමට වඩා වැඩිපුර වත්කම් තිබෙනවා නම් ස්වයංක්‍රීයව රාජ්‍ය ව්‍යුහයට වාර්තා වෙනවා. ඒ නිසාම බදුකරණය පහසු වී තිබෙනවා. එහි සංස්කෘතිය මඟින් සොරකම් කළ මුදලට වටිනාකමක් නැති කරලා. අපේ ර‍‍ටේ මෙවැනි ඩිජිටල්කරණය අවශ්‍යයි. නව මෘදුකාංගය හරහා රාජ්‍ය ව්‍යුහයට ඇතුළත් ආයතනවල තොරතුරු ඒකාබද්ධ පද්ධතියක් ගොඩනැඟීමට බලාපොරොත්තු වෙනවා. වරදකරුවන් අල්ලා හිරේ දැමීම කරන ගමන් දූෂණය අල්ලස අවම කිරීමට මේ ඩිජිටල්කරණය හරහා පියවර ගන්නවා. නව තාක්ෂණ යුගය මඟින් අල්ලස දූෂණය අවම කිරීමත්, පුරවැසියා ශක්තිමත් කිරීමටත් අප කටයුතු කරනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජවිපෙ) –

අල්ලස දූෂණය නිසා අපේ රටේ ආර්ථිකය ගව් ගණනක් ආපස්සට ගිහින් තිබෙනවා. ඒ නිසා මේ පනත ඉතාම කාලෝචිතයි.

පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා මුලසුනට පැමිණියේය.

හේරත් මහතා –

පනත සංශෝධනය කළ පමණින් අල්ලස් දූෂණය නතර වෙන්නේ නැහැ. අල්ලස් දූෂණ චෝදනා ගොඩගැහිලා තිබෙන වේලාවේ ඉක්මනින් නඩු විභාග කිරීමට අවශ්‍ය හරයාත්මක වෙනස්කම් කිරීමට ආණ්ඩුවට හැකිවෙලා නැහැ. ඩිජිටල්කරණය ගැන අද කතා කළා. අධිකරණය සාක්ෂි සටහනක් හදන්නත් මාස ගණනක් යනවා. මේ ඩිජිටල්කරණය ශ්‍රී ලංකාවේ අධිකරණයට ගෙන ආ යුතුයි.

තවමත් පරණ ටයිප් රයිටරයක් භාවිතා කරන අධිකරණ තිබෙනවා. නමුත් ඇමැතිතුමා ඩිජිටල්කරණ සිහින ලබා දෙනවා. ජනතාව ඇතිකරගත් යුක්ති පසිඳලීම අද නැතිවෙලා. මේ නිසා චුදිතයන් බඩපිලුන් ගහන තැනකට පත්වෙලා. ස්මාර්ට් අධිකරණයක් ආරම්භ කිරීමට අභියාචනාධිකරණයක් ආරම්භ කරන්න. කොළඹ දිස්ත්‍රික් උසාවිය කොයි වෙලාවේ කඩන් වැටේවිද දන්නේ නැහැ. ඩිජිටල්කරණයට පෙර මේ ගොඩනැගිලි ටික හදන්න. මහාධිකරණ විනිසුරුවරුන් පුරප්පාඩු තවමත් තිබෙනවා. විනිසුරුවරුන්ට පෙට්‍රල් දීමනාවක් ලබාදීලා බදු ලෙස සියයට 24 ක් නැවත අයකර ගන්නවා. මේවා විහිළු. ආණ්ඩුව විනිසුරන් රවට්ටමින් තිබෙනවා. සහන ලෙස රුපියල් 90,000 ක් දීලා බදු වශයෙන් 21,000 ක් නැවත අයකර ගන්නවා.

පසුගිය ඔක්තෝබර් මාසයේ මේ පාර්ලිමේන්තුවේ පොදු දේපළ විනාශ වුණා. ඒ සම්බන්ධයෙන් මම පැමිණිලි කළා. උත්තරීතර පාර්ලිමේන්තුවේ දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පවා ආණ්ඩුවට හැකිවුණේ නැහැ.

පත්කළ මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා (එජාප) –

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විශාල ලෙස ගොඩගැහිලා තිබෙනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ සංඛ්‍යා වැඩි කරන්න බැහැ. ඒ සඳහා පාර්ලිමේන්තු සංශෝධනයක් අවශ්‍යයි. අභියාචනාධිකරණය ශක්තිමත් කර පළාත්බදව අභියාචනා රැස්වීම කාලෝචිතයි කියා මා හිතනවා. මීට වඩා අධිකරණ ගුණාත්මකභාවයක් අපට බලාගත හැකියි. මූලික අයිතිවාසිකම් නඩු ද අභියාචනාධිකරණ‍ෙය් විභාග කළ හැකියි. ශ්‍රේෂ්ඨාධිකරණය පත්කළ පත්කිරීම් ව්‍යවස්ථාදායක සභාව මඟින් සිදු කෙරෙනවා. නමුත් ජනාධිපතිවරයා එවන නම් ගැන යම් අපහැදිලිතා තිබෙනවා. මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ගැන නමක් එවා තිබුණා. එය ප්‍රතික්ෂේප කිරීමට විනාඩි දෙකක් ගියේ නැහැ. පසුගිය මාසයේදී ජනාධිපති කාර්යාලයේ සේවය කරන නීතිඥවරයෙකුගේ නමක් විනිසුරුවරයෙක් බවට පත්කරන්න කියා ව්‍යවස්ථාදායක සභාවට එවා තිබුණා. එයත් ප්‍රතික්ෂේප කරන්න වැඩිවෙලා ගියේ නැහැ. ජනාධිපති නීතිඥවරුන් පත්කිරීම පිළිබඳව නීතිඥ සංගමය යම් නිර්ණායකයක් ඉදිරිපත් කර තිබෙනවා. එය ඉතා හොඳයි. ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමේදී නීතිපතිවරයාගේ අගවිනිසුරුගේ මතය විමසිය යුතුයි. ජනාධිපති නීතිඥවරුන් 20 – 30 පත්කිරීම මඟින් එහි අගය පහළ යනවා.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙ.ජා.ස.) –

අධිකරණ ක්ෂේත්‍රය බලගැන්වීමේදී දේශපාලන බලපෑම් ඉවත් කළ යුතුයි. අද දේශපාලන හයි හත්තිය තිබෙන අයට වැරදි කරන්න පුළුවන්කම තිබෙනවා. විනිසුරුවරුන්ව දුරකථනයෙන් බිය වද්දන්න අධිකරණයට ගල් ගසන්න දේශපාලන ආධාරකරුවන් පෙලඹෙන අවස්ථා අප දැක තිබෙනවා. එම නිසා අද ඉදිරිපත් කරන සංශෝධන අධිකරණ ක්ෂේත්‍රයට අවශ්‍ය බව අප පිළිගන්නවා. අධිකරණ ක්ෂේත්‍රය බලගැන්වීමට පෙර අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය ස්ථාපිත කළ යුතුයි.

නිරෝෂන් පෙරේරා

නීතිය නිසි වේලාවට ක්‍රියාත්මක නොවීම, නඩු ප්‍රමාද ජනතාවට පීඩාවක් බවට පත්වෙලා.

ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතන පිළිබඳ නඩු විභාග අපේ නීති පද්ධතිය තුළ හිරවෙලා තිබෙනවා. චුදිතයින් නිදැල්ලේ ඉන්නවා. ජනතාව බලාපොරොත්තු වූ දේවල් අද වෙලා නෑ. බැඳුම්කර වංචාවේ ප්‍රධාන මොළකරු වෙනත් රටකට පැනයාම ජනතාවට ප්‍රශ්නයක් වෙලා. නීතිය සැමට සමානද යන ප්‍රශ්නය ජනතාව නඟනවා.

උදයංග වීරතුංග වැනි අය වෙනත් රටවල සිටින බවට අන්තර්ජාලයේ ඡායාරූප පළවෙනවා. පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් ලබාදීමට පවතින අධිකරණ පද්ධතිය තුළින් කළ හැකිද යන ප්‍රශ්නය ජනතාව තුළ තිබෙනවා. අපි දැක්කා පසුගිය රජය සමයේ ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය එකරැයින් එළියට ඇදලා දාපු ආකාරය.

හර්ෂණ රාජකරුණා මහතා මුලසුනට පැමිණියේය.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අළුත්ගමගේ මහතා (එ.ජා.ප)

රටේ නීතියේ ආධිපත්‍යය ගැන පොදු මහජනතාවට ගැටලුවක් පවතිනවා. මහ හොරුන්ට එක නීතියක්, කොස් ගෙඩිය පොල් ගෙඩිය කඩපු අයට තව නීතියක්. අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමක් ගැන සිතන්න බෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එ.ජා.ප)

වත්මන් රජය අධිකරණ කොමිෂම පත්කරලා අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කර තිබෙනවා. අධිකරණ පද්ධතියට දේශපාලන ඇඟිලි ගැසීම් අද නෑ. අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය අද ඇතිකර තිබෙනවා. මුස්ලිම් බෝරා ජාතිකයින්ගේ සමුළුව අද පැවැත්වෙනවා. ලෝකයේ රටවල් 40ක පමණ මුස්ලිම් ජනතාව මෙරටට පැමිණි තිබෙනවා. අප රට කෙරෙහි ලෝක ජනතා සැකය අද දුරුවි තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

නමුත් අද ඇතැම් ජනමාධ්‍ය ජාතිවාදය, ආගම්වාදය පැතිරවීමට ප්‍රයත්න දරන බව මාධ්‍ය වාර්තා මඟින් පැහැදිලි වෙනවා. දොස්තර සා‍ෆි වැනි සිද්ධියක් ඉස්මතු කරන්න දඟලන පත්තර වාර්තා අද තිබෙනවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී

ජයන්තර සමරවීර මහතා (එ.ජ.නි.ස)

මේ රටේ වගකිවයුතු පාර්ශ්ව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කළේ නම් පාස්කු ප්‍රහාරය ලත් තැනම ලොප් කිරීමට හැකියාවක් තිබුණා. කබීර් හෂීම් ඇමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා බුදු පිළිම කැඩිමේ අන්තවාදීන් ගැන හෙළිකළා. මොහොමඩ් සහීක්, මොහොමඩ් සදීක් යන සැකකරුවන් අත්අඩංගුවට ගත්තානම් මේ ප්‍රහාරය වළක්වන්න තිබුණා.

අල්ලස් නඩු විභාග කිරීමේ බලය කොළඹ පළාත්බද මහාධිකරණයට හා ‍ෙකාළඹ මහේස්ත්‍රාත් අධිකරණය පැවරීමේ නියෝගය සම්මත විය.

පාර්ලිමේන්තුව අද (04) සවස යළි රැස්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 3 =