පාර්ලිමේන්තුවේ සාමූහික වගකීමට ඇමැති මණ්ඩලය බැඳී සිටිනවා

(කොළඹ, ලංකාපුවත්) –විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් මා තවදුරටත් කැපවී සිටින බව ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් පාර්ලිමේන්තුව හෙවත් මහජන මජ්ලිසය අමතමින් ඊයේ (03) ප්‍රකාශ කෙළේය.

මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3) පෙරවරුවේ මාලදිවයින් පාර්ලිමේන්තුව ඇමතීම සඳහා පැමිණි අතර එහි දී මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් නෂීඩ් මහතා ඉතා උණුසුම් ලෙස ශ්‍රී ලංකා අගමැතිවරයා පිළිගනු ලැබීය.

අනතුරුව මාලදිවයින් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ශ්‍රී ලංකා අගමැතිවරයා කැඳවා ගෙන එනු ලැබූ අතර එරට පාර්ලිමේන්තුවේ කතානායක අසුනට සම මට්ටමේ අසුනක් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පනවා තිබුණි. පෙරවරු 9.30 ට පමණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් පාර්ලිමේන්තුව ඇමතීය.

ශ්‍රී ලංකා අගමැතිවරයාගේ මාලදිවයින් පාර්ලිමේන්තු ආගමනය සිහිපත් කරමින් එරට කතානායකවරයා මාලදිවයින් පාර්ලිමේන්තු ඉතිහාසය ඇතුළත් සමරු ග්‍රන්ථයක් ද වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමිය.

මාලදිවයින් පාර්ලිමේන්තුව අමතමින් තවදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම නිසා ජනාධිපති ධූරය වෙත පැවරී තිබූ අසීමිත බලතල අඩු කිරීමට හැකියාව ලැබුණා. එම සංශෝධනය අවශ්‍ය වූයේ මීට පෙර පැවැති ආණ්ඩු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝණය කිරීම නිසායි.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙරටේම විධායක බලතල පැවරී ඇත්තේ ජනාධිපතිවරයා වෙත වුව ද, ශ්‍රී ලංකා ආණ්ඩුවේ පාලනය සහ ආණ්ඩුවට මඟපෙන්වීම සඳහා බලතල ඇත්තේ ජනාධිපතිවරයා ඇතුළත් වන කැබිනට් මණ්ඩලයටයි.

19 වැනි සංශෝධනයෙන් පසුව විධායක ජනාධිපති බලතල සීමා වී කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව වෙත සමූහික වගකීම පැවරුණා.

පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට කැබිනට් මණ්ඩලය බැඳී සිටිනවා. පාර්ලිමේන්තුවේ සහයෝගය ලබා ගැනීමට වැඩි හැකියාවක් ඇති පුද්ගලයා අගමැතිවරයා ලෙස පත් කිරීමේ වගකීම ජනාධිපතිවරයා සතු වෙනවා.

ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී අගමැති ධූරයට පත් කරනු ලැබූවා. එසේ වුවද මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 122 දෙනෙකු විරුද්ධ වූ බවත්, ඒ අවස්ථාවේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට තවදුරටත් අගමැති ධූරයෙහි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පැනවූවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා වශයෙන් පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම සහයෝගය ලබා ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයා බව වැඩිදුරටත් තහවුරු වී තිබෙනවා.

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින් පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියට ස්තුතිය පළ කරමින් එරට කතානායක මොහොමඩ් නෂීඩ් මහතා ප්‍රකාශ කෙළේ දකුණු ආසියානු කලාපයේ වඩාත්ම ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ බවයි.

එසේම ශ්‍රී ලංකාව කිසි විටෙක ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් සහ මහජන ඡන්දයෙන් මිස වෙන කිසිඳු අයුරකින් රටේ බලය හුවමාරු කර ගෙන නොමැති බව ද පැවසීය.

මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන අැමැති වජිර අබේවර්ධන, උසස් අධ්‍යාපන, නගර සැලසුම් සහ ජල සම්පාදන අැමැති රාවුෆ් හකීම්, සමාජ සවිබලගැන්වීමේ සහ ප්‍රාථමික කර්මාන්ත අැමැති දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අැමැති අනෝමා ගමගේ, අගමැති ලේකම් සමන් ඒකනායක, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මේජර් ජනරාල් අශෝක තෝරදෙනිය, අගමැති විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුලූ පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 13 =