රාජ්‍ය ආයතනවල පෝෂ්‍යදායී ආහාර අනිවාර්යයි

(කොළඹ, ලංකාපුවත්) –බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාවේ තීරණයක් අනුව සියලු රජයේ කාර්යාල සහ පාසල්වල ආපනශාලා සඳහා පෝෂ්‍යදායී ආහාර නිකුත් කිරීම පිළිබඳ චක්‍රලේඛය මේ වන විට සූදානම්ව පවතින අතර නුදුරේදීම එය බලධාරීන් වෙත යොමු කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

පොදු මහජනතාවගේ විවිධ ආහාර අවශ්‍යතා සපුරාලනු ලබන ආපනශාලා මඟින් නිකුත් කරන ආහාරවල පෝෂ්‍යදායී බව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය මඟින් ආරම්භ කර තිබේ. පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාර පරිශ්‍රයේ පැවති බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාවේදී මේ සම්බන්ධයෙන් අනාවරණය කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. සෞඛ්‍ය, අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට බෝ නොවන රෝග අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය වී. ටී. එස්. කේ. සිරිවර්ධන මහත්මිය ඇතුළු දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් ක්ෂේත්‍රයේ විද්වතුන් සහභාගි වී තිබේ.

එහිදී පොදු මහජනතාව වෙත ආහාර සම්පාදනය කෙරෙන ස්ථාන සෞඛ්‍යාරක්ෂිතදැයි සහතික කරන විධික්‍රමයක් මේ වන විට පවතින නමුත් එම ආහාරයන්හි පෝෂ්‍යදායී බව තහවුරු කර ගැනීමක් අත්‍යවශ්‍ය බව සාකච්ඡා වී තිබේ. දීර්ඝ කාලයක් පුරා මේ පිළිබඳ සාකච්ඡා සිදු කෙරුණත් ඒ සඳහා අනුමැතිය හෝ ක්‍රියාත්මකභාවය මෙතෙක් සිදුව නොමැති බැවින් ඒ සඳහා වන චක්‍රලේඛය නුදුරේදීම නිකුත් කරන බව පෝෂණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය භානුජ විජේතිලක මහතා එහිදී පැවසීය. පෝෂණ අංශයේ යෝජනාව වී ඇත්තේ පොදු ආපන ශාලා නියාමනයට ප්‍රථමයෙන්, රාජ්‍ය ආයතනවල ස්ථාපිත කර ඇති ආපන ශාලාවල ආහාර සඳහා පෝෂ්‍යදායී සහතික කිරීමක් සිදු විය යුතු බවයි. ඊට අනුකූල ලෙස පෝෂ්‍යදායී ආහාරපාන පිළිබඳ රීති මාලාවක්ද සම්පාදනය කර ඇත. එසේම සියලු පාසල් ආපනශාලා සඳහා සාධන මට්ටම දැක්වෙන වර්ණ සංකේත ක්‍රමයක්ද හඳුන්වාදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *