ඇල්පිටිය ඡන්දයට සූදානම් වෙන්න

(කොළඹ, ලංකාපුවත්) –ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට වහාම සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂ නායකයන්ට උපදෙස් දී තබේ.

මාලදිවයින් දෙදින නිල සංචාරය නිමකර පෙරේදා දිවයිනට පැමිණි විගස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ උපදෙස් ලබා දී තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය සම්බන්ධයෙන් මාලදිවයිනේ සිටියදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමඟ සාකච්ඡා කළ අතර දිවයිනට පැමිණි පසු මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක සහ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට ද උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරණයට කවුරු ඉදිරිපත්වූවත් ප්‍රථමයෙන් ම ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට මුහුණ දිය යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට පැහැදිලිවම දැනුම් දී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් සමඟ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පිළිබඳ ඊයේ ද (5) සාකච්ඡා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *