ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළා

(කොළඹ, ලංකාපුවත්) –අධිකරණ ක්ෂේත්‍රයට දේශපාලන බලපෑම් සහ ඇඟිලි ගැසීම්වලින් තොරව ස්වාධිනව හා අපක්ෂපාතීව තීන්දු තීරණ ගත හැකි නිදහස් පරිසරයක් ගෙවී ගිය වසර පහේ දී තමා රට තුළ ගොඩනඟා දුන් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (05) පෙරවරුවේ එක් වෙමිනි.

නව අධිකරණ සංකීර්ණය මහල් තුනකින් සමන්විත අතර ඒ සඳහා රුපියල් මිලියන 327ක් වැය කර තිබේ. මහාධිකරණයක්, දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක්, අනෙකුත් කාර්යාල පහසුකම් ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත ව මෙම අධිකරණ සංකීර්ණය ඉදිකර තිබෙන අතර එහි ඉදිකිරීම් සඳහා 2017 පෙබරවාරි 25 වන දින ජනාධිපතිතුමා අතින් මුල් ගල් තැබිණි.

සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

අනතුරු ව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ විවේචන සහ අපවාද කොතෙක් එල්ල වුව ද තමා අද රට තුළ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර තිබෙන බවයි.

විධායක ජනාධිපති ධූරය ආරම්භ වූ දා සිටම මේ රටේ සිටි සෑම ජනාධිපතිවරයෙකුට ම අධිකරණයට බලපෑම් කිරීම සහ ඇඟිලි ගැසීම පිළිබඳ චෝදනා එල්ලවී ඇති අතර තම පාලන කාලය තුළ එවන් කිසිදු චෝදනාවක් එල්ලවී නොමැති බව පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ පිළිබඳ තමා නිහතමානීව සතුටු වන අතර එය මෙරට අධිකරණ ක්ෂේත්‍රය මෙන්ම රටේ ජනතාව ද ලැබූ විශිෂ්ට වරප්‍රසාදයක් ලෙස සලකන බවයි.

ඇමතිනි තලතා අතුකෝරල, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × five =