ව්‍යවසායකයන් මිලියනයක් බිහි කළ හැකියි – ඇමති සජිත්

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රජාතන්ත්‍රවාදය නුහුරු අයට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් ඇති බව පෙනී ගිය ද පක්ෂය තුළ ඇත්තේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විවිධ මතවාදයන් පැවතීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂයක් බවත්, එවැනි මතවාදයන් මතු නොවන්නේ ඒකාධිපති පාලනයක් තුළ පමණක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ යාපනය මුට්ට්‍රවේලි පිටියේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ තුන් වැනි දිනය වූ ඊයේ (09) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී ය. මාධ්‍ය හමුව ප්‍රදර්ශන භූමියේ පිහිටි මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
අමාත්‍යවරයා එහි දී මෙසේ ද පැවැසීය.

‘‘මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය මගින් පොඩි මිනිහාට ළගා විය නොහැකි ඉලක්ක දිනා දීමට අවශ්‍ය මංපෙත් විවර කරල දෙනවා. ඔවුන්ට ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය දැනුමේ සිට ප්‍රාග්ධනය පවා මෙමගින් ලබා දෙනවා. ඉතා ලිහිල් කොන්දේසි යටතේ, සුළු පොලී අනුපාත යටතේ මෙම ණය ලබා දෙනවා. ඒ නිසා මෙම වැඩපිළිවෙළ යටතේ ව්‍යවසායකත්ව අවස්ථාවන් ලක්ෂයක් නිර්මාණය කිරීම අරමුණ වුණත් ව්‍යවසායකයන් ලක්ෂ 10ක් බිහි කිරීමේ හැකියාව පවතිනවා.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් බොහෝ දෙනා මේ ප්‍රදර්ශන භූමියට එන අතරතුරත් මගෙන් විවිධ ප්‍රශ්න ඇහුව. පිටරට ගිහින් එකක් කියල ලංකාවට ඇවිත් තව එකක් කියන ස්ථාවරයේ මම නැහැ. අපේ ඇතැම් නායකයො හිටියා ඉන්දියාවේදී 13 ප්ලස් කියල ලංකාවට ආවම 13 මයිනස් වෙනවා. මගේ ස්ථාවරය වන්නේ ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක් තුළින් මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නයි. නමුත් මම එක දෙයක් කියන්න ඕනෙ. මේ ගැටලුවට විසඳුම් ලැබෙන්නේ දේශපාලන, ආර්ථික සහ සමාජීය බල ගැන්වීමකින් විතරයි. මේ රටේ කිසියම් ජාතියක කෙනෙකුට හිතෙනව නම් අපි දෙවැනි පන්තියේ මිනිස්සු කියල, අපි පහත් කියල ඒ තුළ අපි කියන විසඳුම් නිර්මාණය වෙන්නෙ නෑ.
පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ මේ ගැටලුවට විසඳුමක් විදියට. නමුත් එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණේ නෑ. නමුත් අද වෙලා තියෙන්නෙ 13 වැනි සංශෝධනය විහිළුවක් බවට පත්වෙලා තියෙන එකයි. අපි පළාත් සභා ක්‍රමය ශක්තිමත් කළ යුතුයි.

2015 බලයට පත් වෙද්දි, ජනාධිපතිවරණයේ දී අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව තියෙනවා අපේ ස්ථාවරය. ඒ තමයි ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක්. අදටත් ඒ ස්ථාවරයේ වෙනසක් නෑ.

ජනාධිපති ධුර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුදයක් ඇති බව ඇතැම් පාර්ශ්වය හුවා දක්වන්නට උත්සහ කරනවා. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය නුහුරු අයට මේ තත්ත්වය පක්ෂයේ අර්බුදයක් ලෙස දකින්න පුළුවන්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ විවිධ මත පළ කිරීමට ඇති නිදහස. සමහර පක්ෂ තියෙනවා අභ්‍යන්තරයේ විවිධ මත නෑ. ඒ එවැනි මත ඉදිරිපත් වීම පාලනය කරල තියෙන නිසයි.‘‘ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සහ යාපනය නගරාධිපති එමානුවෙන් ආනල්ඩ් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා යාපනයට පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධාන නායකයන් අතර හමුවක් පැවැත්විණි. මෙම අවස්ථාවට එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන එම්.ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ද ඊට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *