ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සවුදියේ රැකියා අවස්ථා වැඩි කරන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –සෞදි අරාබිය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හට රැකියා අවස්ථා පුළුල් කරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා සෞදි අරාබියේ කතානායක අබ්දුල්ලා බින් මොහොමඩ් බින් ඊබ්‍රහිම් අල් ෂෙයික් මහතාගෙන් ඉල්ලා සිටියේය. සෞදි අරාබියේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයින් එවීමට සූදානම් බවත් මේ වනවිට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එක් ලක්ෂ තිස්හයදහසක් පමණ සෞදි අරාබිය තුළ සේවය කරන බවත් කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

2016 වසර සමඟ සසඳන විට සෞදි අරාබිය තුළ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ප්‍රමාණය හැටදහසකින් පමණ අඩු වී ඇති බවත් කතානායකවරයා සඳහන් කෙළේය. එ බැවින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හ‍‍ට සෞදි අරාබියේ රැකියා අවස්ථා ලබාදිමට‍ කටයුතු කරන ලෙස කතානායකවරයා සෞදි අරාබියේ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

කතානායක කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කෙළේ සෞදි අරාබියේ කතානායක අබ්දුල්ලා බින් මොහොමඩ් බින් ඊබ්‍රහිම් අල් ෂෙයික් මහතා සමඟ ඊයේ පාර්ලිමේන්තු සංකිර්ණයේ (9) පැවැති හමුවකදිය.

ශ්‍රී ලාංකිකයන්ට දැනට වඩා රැකියා අවස්ථා සෞදි අරාබිය තුළ පුළුල් කරන ලෙසත් වඩාත් දක්ෂ පුහුණු ශ්‍රමිකයන් එරටට එවීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් කතානායක කරු ජයසූරිය මහතා සෞදි අරාබියේ නායක අබ්දුල්ලා බින් මොහොමඩ් බින් ඊබ්‍රහිම් අල් ෂෙයික් මහතා අමතමින් පැවසුවේය.

එමෙන්ම සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී මියයන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් එලෙස මිය යෑම් සිදුවීමට හේතු වන කරුණු සොයා බලන ලෙසත් කතානායකවරයා ඉල්ලා සිටියේය. කරු ජයසූරිය මහතා මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ සෞදි අරාබියානු කතානායකවරයා ඇතුළු දූත පිරිසක් ඊයේ පර්ලිමේන්තුවේදී ඒ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *