අන්තර්ජාතික නයිට්‍රජන් කළමනාකරණ පද්ධතියෙන් ජනපතිට පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) –අන්තර්ජාතික නයිට්‍රජන් කළමනාකරණ පද්ධතියේ අධ්‍යක්ෂ මහාචාර්ය මාර්ක් සට්න් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසරය සුරැකීම වෙනුවෙන් සිදුකරන කාර්යයන් අගය කරන ලදි.

ශ්‍රී ලංකාවට නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ හඳුන්වාදීමට අඩිතාලම යෙදීමෙන් පසු ඊයේ (09) මහවැලි අධිකාරියේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහාචාර්ය සට්න් ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිතුමා මෙරට පාරිසරික අමාත්‍ය වීම ද මෙම වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හේතුපාදක වූ බවයි.

මෙහි මූලික අදියරක් වශයෙන් ඔක්තෝබර් මස 23 හා 24 යන දෙදින තුළ ගෝලීය වැඩමුළුවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය. ඒ සඳහා ලොව තෝරාගත් රටවල පරිසර අමාත්‍යවරුන්, පරිසර විෂය සම්බන්ධව කටයුතු කරන ප්‍රතිපත්ති සම්පාදකයින්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂතුමිය ඇතුළු කණ්ඩායම, නයිට්‍රජන් කළමනාකරණ පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය සහ දකුණු ආසියානු ව්‍යාපෘතිය නියෝජනය කරන පර්යේෂකයින්, විද්‍යාඥයින්, ගෝලීය සංවර්ධනය/මුල්‍ය ආයතන, හරිත දේශගුණ අරමුදලෙහි විධායක අධ්‍යක්ෂ, ගෝලීය පාරිසරික පහසුකමෙහි නියෝජිතයන්, දේශීය ඥානය පිළිබඳ විශේෂඥයන්, ව්‍යාපාරික ප්‍රජාව, දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සහභාගි වීමට නියමිතය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසා සිටියේ බොහෝදෙනා ගෝලීය උෂ්ණත්වයට, ඕසෝන් ස්ථරය ක්ෂය වීම, පාංශු දූෂණය හා වායු දූෂණය පිළිබඳ සාකච්ඡා කළ ද නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ ඉතා අවම වශයෙන් කතා බහ කරන බවත් නවතම පරීක්ෂණ මඟින් නයිට්‍රජන් නිසි ලෙස කළමනාකරණය නොකළහොත් දැඩි පාරිසරික ගැටලුවලට මුහුණ පෑ හැකි බව පෙන්නුම් කර ඇති බවයි.

කෘෂිකර්මාන්තයේ දී දැඩි වශයෙන් භාවිත වන මූලද්‍රව්‍යයක් වන නයිට්‍රජන්, තිරසර වශයෙන් කළමනාකරණය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ පරිසර ගැටලුවේ සිව්වැනි සැසිවාරයේ දී දකුණු ආසියානු පරිසර සහයෝගිතා වැඩසටහනෙහි මැදිහත්වීමෙන් ඉන්දියාව විසින් යෝජනාවක් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකාව එයට සහය දැක්වූ බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.

තවද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ජාත්‍යන්තර සබඳතා) දීපා ලියනගේ මහත්මිය පවසා සිටියේ මෙම වැඩමුළු මඟින් නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, සංවිධායකයන්ගේ ප්‍රධාන අරමුණක් බවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *