රනිල් – සජිත් සාකච්ඡා සුබවාදීව අවසන්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අමත්‍යවරයා පැවැත්වූ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වුවද එය ඉතා සුබවාදී බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ(10) රාත්‍රී 9.30ට පමණ අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡා ආරම්භ කෙරුණු අතර පැය 2කට ආසන්න කාලයක් එම සාකච්ඡා පැවති බව වාර්තා වේ.

රාත්‍රී 9.30 ට පමණ ඇරැඹි පැයක් පමණ පැවැති මේ සාකච්ඡාවට අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.

ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය උපයෝගී කරගන්නා ඡන්ද උපක්‍රම පිළිබඳවත් අපේක්ෂකයා කවුරුන් වූවන් සන්ධානගත වී ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ යුතු ආකාරය පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණ වශයෙන් තවදුරටත් ඉදිරියට වැඩ කටයුතු කිරීම අරමුණ බව මෙහිදී සියලුදෙනාගේම අරමුණ බව ප්‍රකාශයට පත්වී තිබේ. මේ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ කෙටි කලක් ඇතුළත සුබදායි ප්‍රතිඵලයක් ලැබෙනු ඇති බවත් සාකච්ඡා වට කිහිපයක්ම ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙනු ඇති බවත්ය.

තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා – එළඹෙන ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා සුහඳව පැවති බවත් මෙහිදී අගමැතිවරයා සුබවාදී මතයක සිටි බව සදහන් කරන ඒ මහතා සාකච්ඡා මාර්ගයෙන් පවතින තත්ත්වය නිරාකරණය කරගත හැකි බවද සියල්ල සුබවාදීව සිදුවන බවද පෙන්වාදෙයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා සහ පක්ෂයේ ඉදිරි වැඩපිලිවෙල සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හා නිවාස, ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී ඊයේ (10) රාත්‍රියේ පැවැති අතර එම සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සදහන් කළේය. ඉදිරි දින කිහිපයේ දී හොඳ ප්‍රතිඵලයක් අපේක්ෂා කළහැකි බව පෙන්වාදුන් ඇමැතිවරයා පක්ෂය මෙන්ම පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කළ බවද පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් ලෙස ඉදිරියට යන බව කී ඒ මහතා මේ සාකච්ඡාවේ දී ඉල්ලීම් කිසිවක් නොකළ බවද එක්සත් ජාතික පක්ෂයේ ක්‍රමෝපායන්, සැලසුම් තිබෙන අතර සාකච්ඡා සුහඳව පැවැති බවද සදහන් කළේය. ඉදිරි දින කිහිපයේ දී හොඳ ප්‍රතිඵල දැනගත හැකිවනු ඇතැයි විශ්වාසය පළකළ ඒ මහතා තවදුරටත් සාකච්ඡා කරන බවද තමා මේ සම්බන්ධයෙන් සුබවාදීව සිතන බවද කීවේය. පක්ෂ අභ්‍යන්තරයේ හොඳ සාකච්ඡාවක් පැවැති බවද පුද්ගලයන් සමඟ තමාගේ ගණුදෙනුවක් නොමැති අතර ගණුදෙනු තිබෙන්නේ රටේ ජනතාව සමඟ බවද කී සජිත් ප්‍රේමදාස මහතා තමා උකුස්සෙකු හෝ රාජාලියෙකු නොව තමා ඇතෙකු බවද පෙන්වා දුන්නේය. බුදු බව ලබන්නත් පෙරුම් පුරන්න වූ බව කී ඒ මහතා සෑම දෙයක් සම්බන්ධයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සුබවාදී මතයක සිටින බවද සාකච්ඡා මාර්ගයෙන් සුහඳව හොඳ තැනකට පැමිණෙන බවද සදහන් කළේය.

පක්ෂය අභ්‍යන්තරයේ කිසිඳු ගැටළුවක් නොමැති අතර ගැටළු තිබෙන්නේ නම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගතහැකි බවද ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තමා විශාල විශ්වාසයකින් පසුවන බවද පැවසීය. මේ වනවිට එක්සත් ජාතික පක්ෂය තුළ සජිත් පාර්ශවය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය වශයෙන් දෙපිළක් සිටින බවට ඇතැමුන් ප්‍රකාශ කළද එවැනි දෙපිළක් නොමැති බව පෙන්වාදුන් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි දින කිහිපයේ අඛණ්ඩව සාකච්ඡා කරන්න සූදානම් බවද දෙමල ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කරන බවද ප්‍රකාශ කලේය.

හැම පාර්ශවයකම සහාය ලැබෙන බව කී ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද සහාය හිමිවන බව කී ඇමැතිවරයා තමා ඉවසීමෙන් කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.

ඇමැතිවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, මලික් සමරවික්‍රම, රාජිත සේනාරත්න සහ කබීර් හෂීම් මහත්වරුන් මේ සාකච්ඡාව සඳහා සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + 11 =