ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට තවත් සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) –මවගෙන් දරුවාට එච්.අයි.වී. ඒඩ්ස් ආසාදනය වීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාන්ජලි හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය.

එම කණ්ඩායම මාතෘ සායන සහ අනෙකුත් ඒ ආශ්‍රිත සායන වෙත පැමිණ නිරීක්ෂණය කිරීමට නියමිත අතර එහිදී ගර්භනී මව්වරුන්ගෙන්ද මේ පිළිබඳව විමසීමට නියමිතය. එම කණ්ඩායම උතුරු – නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකටම යාමටද නියමිතය.

රජය නොමිලේ ලබා දෙන මෙම සේවාවන් පිළිබඳව සෑහීමකට පත් වීමෙන් අනතුරුව එම වාර්තාව ජිනීවා වෙත යවන අතර එහිදී ඔවුන් විසින් මවගෙන් දරුවාට එච්.අයි.වී. ඒඩ්ස් සහ සිපිලීස් රෝගය වැළඳීම තුරන් කර ඇති රටක් ලෙසට සහතිකය නිකුත් කිරීම සිදුවෙයි.

මවගෙන් දරුවාට එච්.අයි.වී. ඒඩ්ස් ආසාදනය මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සාර්ථක ලෙස පාලනය කර ඇති අතර 2017 සිට එච්.අයි.වී. ඒඩ්ස් වැලඳුණු මවුවරුවන්ගේ කිසිදු දරුවෙකුට එච්.අයි.වී. ඒඩ්ස් ආසාදනය වීමක් සිදුව නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *