දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ජනපතින් අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ අද (16) පස්වරු 5.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇත. 2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුළුණ දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන අතර එහි උස මීටර් 356ක් වේ. අමෙරිකානු ඩොලර් මිලියන 104.3ක පිරිවැයකින් යුතුව මෙහි නිර්මාණ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති අතර ඉන් ඩොලර් මිලියන 67ක මුදලක් චීන රාජ්‍ය බැංකුවක් වන එක්සිම් බැංකුව විසින් විදේශ ණය මුදලක් ලෙස ලබා දී තිබේ. ඉතිරි පිරිවැය දරා ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසිනි.

කලකට පෙර කොළඹ පිහිටි විශාලතම ගොඩනැඟිල්ල බවට පත්ව තිබුණේ කොළඹ කොටුවේ පිහිටි ‘පිට්ටු බම්බුව’ යැයි නම් ලත් ලංකා බැංකු ගොඩනැඟිල්ලය. එහෙත් පසුව ඒ ගොඩනැඟිල්ල ආසන්නයේ විසල් කුලුනු දෙකකින් යුතුව ඉදිවූ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන (WTC) ගොඩනැඟිල්ල ලංකාවේ උසම ගොඩනැඟිල්ලේ වාර්තාව තමන් සතුකර ගත්තේය. අද (16දා) ඒ වාර්තාව ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලටද අහිමි වෙයි. ඒ කොළඹ අහස සිඹිමින් ඉදිවූ දකුණු ආසියාවේ විශාලතම සම්ප්‍රේෂණ කුලුන ලෙස සැලකෙන නෙළුම් කුලුන අද ජනතා අයිතියට පත්වන නිසාය.

මීටර 350ක් එසේත් නැතිනම් අඩි 1167ක් උස මෙම කුලුන ‘නෙළුම් කුලුන’ ලෙස නම් වන්නේ උසැති නෙළුම් පොහොට්ටුවක හැඩයකින් යුතු නිසාය. ‍ නෙළුම් මල මඟින් ශ්‍රී ලංකා සංස්කෘතියෙහි නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුව පිළිබදව අර්ථ ගැන්වෙන අතර කුලුනේ පාදම සඳහාද නෙළුම් මලක හැඩය යොදාගෙන තිබේ. නෙළුම් දණ්ඩක පැහැය ගන්නා කොළ පැහැයෙන් කුලුන වර්ණ ගන්වා තිබේ. නෙළුම් පෙතිවල රාමුව වානේවලින් නිපදවා ඇති අතර පෙති වීදුරුවලින් තනා ඇත. වෙනස් වන වර්ණයන්ගෙන් යුත් එල්. ඊ. ඩී. බල්බ මෙම වීදුරු පෙතිවලට සවිකොට ඇති අතර වෙසක්, අවුරුදු හා නත්තල් වැනි උත්සව සමයන්හිදී ඒ ඒ උත්සවයට ගැළපෙන වර්ණයන්ගෙන් එම පෙති හැඩගැන්වීමටද නියමිතය. එම ආලෝකමත් කිරීම නිසා රාත්‍රී කාලයේදී වුවද සැලකිය යුතු දුරක සිට නෙළුම් කුලුන දැක ගත හැකිවනු ඇත. මෙහි ඉදිකිරීම් පිරිවැය ඇමෙරිකන් ඩොලර් මිලියන 104.3ක් හෙවත් රුපියල් බිලියන 12කි. එය කුලුනෙන් ලැබෙන ආදායමින් ගෙවා දැමීමට නියමිතය.

කොළඹ නගරයේ සැරිසරන කාගේත් නෙත් සිත් පැහැර ගන්නා මනරම් දසුනක් මවන මෙම නෙළුම් කුලුන විටෙක ආන්දෝලනාත්මක කරුණු කාරණා ඇතිකළද තවත් වරෙක එය නගරාලංකාරයට අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් ලෙස සැලකිණ. නෙළුම් කුලුන ඉදිකිරීම පිළිබඳ කතාවද 2008 වසර දක්වා අතීතයට දිවෙන්නකි.

ඒ අනුව මුලින්ම 2008 වසරේදී පෑලියගොඩ ඉන්ජිනේරු සංස්‌ථා වැඩබිමට අයත් භුමියේ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසමට බහුකාර්ය විදුලි සන්දේශ කුලුනක්‌ ඉදි කිරීමට තීන්දු කර තිබිණි. ඉංජිනේරුවෝ ඒ සඳහා පෑලියගොඩ ඉංජිනේරු සංස්‌ථාවට අයත් හෙක්‌ටයාර දහයක ඉඩමේ පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ. එම භූමියේ කුඩා දිය පොකුණක ඉහළට මතු වී තිබූ නෙළුම් මලක්‌ දැකීමෙන් පසු යෝජිත කුලුන නෙළුම් දණ්‌ඩක්‌ හා නෙළුම් මලක්‌ ලෙස නිර්මාණය කිරීමේ අදහස ඔවුන්ට මතු වී තිබේ. එයට සියල්ලන්ගේම අනුමැතිය හිමිව ඇති අතර එතැන් සිට කුලුනේ සංකල්පමය සැලසුම් සියල්ල නෙළුම් දණ්‌ඩක්‌ හා එහි ඉහළ කෙළවරේ වූ නෙළුම් මලක හැඩය ගනු ලැබීය. ඒ නෙළුම් කුලුනේ සැලසුමේ කතාවයි. එසේ වුවද මුලින් තෝරාගත් පෑලියගොඩ ප්‍රදේශයට ඒ සුන්දර නෙළුම් කුලුන හිමිකර ගන්නට වරම් නොලැබිණ. අවසන එය හිමිවූයේ කොළඹ නගරයටයි.

අද දින ජනතා අයිතියට පත්වූ නෙළුම් කුලුන සම්පූර්ණයෙන්ම රජය සතු ගොඩනැඟිල්ලක් වන අතර එය අයත් වන්නේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවටය. මෙම කුලුනේ කඳ නොහොත් නටුවේ සම්පූර්ණ උස අඩි 592කි. ඉන්පසුව නෙළුම් පොහොට්ටුවේ කොටස පටන් ගන්නා අතර ඒ තුළ තට්ටු 7ක් ඉදිකර තිබේ. එය සකසා ඇත්තේ පහළ සිට ඉහළට පළමු හා දෙවැනි මහල් දෙක ගුවන් විදුලි හා රූපවාහිනි සම්ප්‍රේෂණ කටයුතු වෙනුවෙන් වෙන්කර ඇත. නෙළුම් කුලුනේ මධ්‍යයේ ගමන් කර ඉහළට ගිය විට හමුවන පොහොට්ටුවේ පළමු මහල් දෙක වෙන්වන්නේ විදුලි සන්දේශ හා සන්නිවේදන අංශ වෙනුවෙන්ය. එය සාමාන්‍ය ජනතාවට නැරැඹිය නොහැකි විශේෂ ආරක්ෂිත කලාපයකි.

3 සහ 4 වැනි මහල් තුළ උත්සව ශාලා 2ක් පිහිටා ඇති අතර උත්සව ගැනීමේ සියලු පහසුකම්වලින් සමන්විතය. ඒ එක් උත්සව ශාලාවක 300කට පහසුවෙන් අසුන් ගත හැකිය. 5 වැනි මහල වෙන් වන්නේ කැරකෙන අවහන් හලටය. එය එක තැනක අසුන් ගෙන ශ්‍රී ලංකාවේ කොළඹ නගරය හතර වටේටම එකවර නැරඹිය හැකි එකම ස්ථානය වේ. සෙමෙන් කැරකැවෙන මේ සුපිරි භෝජනාගාරයේ අසුන් ගත් අයකුට එම භෝජනාගාරයේ තමා අසුන්ගෙන සිටින ප්‍රදේශය සෙමෙන් කැරකැවෙන බවක් කිසිසේත්ම නොදැනේ. එය පැය එකහමාරක කාලයකදී එක් වටයක් ගොස් පැමිණෙන අතර එය අපූර්වතම අත්දැකීමක් වනු නිසැකය.

6 වැනි මහල සුඛෝපභෝගී කාමර 7කින් යුක්ත අතර එය සුඛෝපභෝගී හෝටලයකට සමානය. ඒ තුළ අධි සුඛෝපභෝගී හෝටල් කාමර දෙකක්ද වේ. මෙහි සත්වැනි මහල වෙන්වී ඇත්තේ නැරඹුම් මහලක් ලෙසිනි. බාහිර පරිසරයට විවෘත නැරඹුම් වේදිකාවක්ද එයින් පිටත නිර්මාණය කර තිබේ. කුලුන නරඹන්නට පැමිණෙන සංචාරකයන්ට එහි සිට කොළඹ නගරයම නරඹන්නට හැකියාව ඇත. එසේම අනෙක් පසින් කොළඹ වරාය නගරයද සම්පූර්ණයෙන්ම නැරඹීමට හැකියාව තිබේ. ඒ රටේ උසම ගොඩනැඟිල්ලේ පියස්සේ සිටගෙනය. එකවර දහසක්‌ පමණ දෙනාට නෙළුම් කුලුනේ ඉහළ රැඳී සිටීමේ හැකියාවද ඇත.

එතැනින් ඉහළට ඇත්තේ ඩිජිටල් සම්ප්‍රේෂණ කටයුතු මෙහෙයවන ඇන්ටනා සංකීර්ණයයි. ටොන් 180ක් බර, මීටර් 66ක් උස කොටස් තුනකින් සමන්විත එම ඇන්ටනාව සවිකර ඇත්තේ නැරඹුම් වේදිකා පරිශ්‍රයේ සිට තවත් අඩි 20කට ඉහළිනි. පැහැදිලි රූප රාමු මෙන්ම පැහැදිලි හඬ ලබාදීම වෙනුවෙන් එම ඇන්ටනාවෙන් කරනු ලබන සේවාව අති විශාලය. සාමාන්‍ය බිම් මට්ටමේ සිට බැලූ විට මෙන් නොව

7 වැනි මහල දක්වා ගිය විට එහි උස මැනවින් පෙනේ. ඇන්ටනාවේ උස පමණක් අඩි 650කි.

පහළ මාලයේ බිම්මහල සේවා සැපයීම් මහල ලෙස සැලකෙන අතර ඊළඟ මහල දොරටු හතරකින් සමන්විත වේ. ඉතිරි මහල් දෙක සාප්පු සංකීර්ණ සඳහා වෙන්කොට ඇති අතර ඒ මත නිදහස් අංගණයක් සකසා තිබීම සංචාරකයන්ට පහසුවකි. ශ්‍රී ලංකාවේ ගොඩනැඟිල්ලක ඇති වේගවත්ම විදුලි සෝපාන පද්ධතිය ස්ථාපිතව ඇත්තේ නෙළුම් කුලුනේ වන අතර එහි විදුලි සෝපාන 8ක් ස්ථාපිත කර ඇත. එයින් සෝපාන 3ක් කුලුණේ පාදමේ ඇති මහල් කරා ගමන් කිරීම වෙනුවෙන් යොදා තිබේ. තත්පරයකදී මීටර් 7ක්‌ ඉහළ නඟින විදුලි සෝපාන ඔස්සේ තත්පර 37කදී කුලුන මුදුනටම ළඟා විය හැකි අතර එම සෝපාන ඔස්සේ එකවර 80දෙනකුට කුලුන මුදුනට යා හැකිය.

ඒ අනුව නෙළුම් කුලුන ආශ්‍රිත ප්‍රදේශයේම දෙවන අදියරක් සඳහාද සැලසුම් කර ඇති අතර එහි වාහන 2000ක් ගාල් කළ හැකි භූගත රථ ගාලක්, අඩු ආදායම්ලාභියාගේ සිට සුපිරි ආර්ථික මට්ටම් අය සඳහා වෙන්වන සාප්පු සංකීර්ණයක්, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක් (gym), පිහිනුම් තටාකයක් හා සිනමා ශාලාවක්ද ස්ථාපිත කිරීමට යෝජිතය. ආරම්භයේදී පෑලියගොඩ හෙක්ටයාර 10 වෙනුවට නෙළුම් කුලුනට දැන් හිමිව ඇත්තේ බේරේ වැව අසබඩ වූ හෙක්‌ටයාර 3.1ක්‌ වූ ඉඩමක් පමණි. ඉහත කී දෙවන අදියරට ඊට යාබද ව වූ තවත් අක්‌කර පහක ඉඩමක්‌ ලබා ගැනීමටද යෝජිතය.

අධි තාක්‌ෂණික ගොඩනැඟිල්ලක්‌ ලෙස හැඳින්වෙන නෙළුම් කුලුනේ එක් ගොඩනැඟිල්ලක සිට එක්‌ එක්‌ මහල වෙත යා යුතු වන්නේ ස්‌වයං අවසර පත්‍ර ක්‍රමවේදයක්‌ ඔස්‌සේය. ඒ අනුව එක්‌ මහලක්‌ සඳහා ලබාදෙන විද්‍යුත් අවසර කාඩ් පතකින් තවත් මහලකට ඇතුළු විය නොහැකිය. උදාහරණයක්‌ ලෙස ගතහොත් උත්සව ශාලාවකට ඇතුළු වීමට ලබාදෙනු ලබන විද්‍යුත් අවසර කාඩ් පතකින් කැරකෙන අවන්හලට ඇතුළු විය නොහැකිය. ඒ ආකාරයට ආරක්ෂාව උපරිම ලෙස ක්‍රියාත්මක වන මෙම කුලුනට ඇතුළුවීමේදී ස්වයංක්‍රීය දොරටුවලදී කාඩ්පතක් ලබා ගත යුතු අතර තමන්ට යා යුතු ස්ථානයට අදාළ කාඩ්පත ලබා ගන්නා තුරු කුලුනට ඇතුළු විය නොහැකිය. එකී නොකී විස්මිත සුන්දරත්වයන් සහ අපූර්වතම වටිනාකම් රැසකින් යුතු නෙළුම් කුලුන පිළිබඳ මහජනතාවට පහසුවෙන් තොරතුරු ලබාගැනීම විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විසින් නෙළුම් කුලුන mobile app එකක් නිර්මාණය කිරීමට නියමිත අතර ඒ මඟින් කුලුනේ සැරිසැරීම, සිනමා සහ ආපනශාලාවල ආසන වෙන්කර ගැනීම, එහි පැවැත්වෙන උත්සව සහ විවිධ අවස්ථාවන් පිළිබඳ තොරතුරු ඉතා පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇත. අද දින කොළඹ අහස සිඹිමින් පිපුණු ආසියාවේ විශාලතම නෙළුම් කුලුන ශ්‍රී ලංකාවේ නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුව අර්ථ ගන්වන විස්මිත නිර්මාණයකි. එය ආශ්චර්යමත් දේශයක් කරා යන ගමනේ ප්‍රධාන මංසලකුණක් වනු නොඅනුමානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − 9 =