පක්ෂයටත්, පාක්ෂිකයන්ටත් අසාධාරණයක් සිදු නොවන සියලුදෙනාට පිළිගත හැකි වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවතක්සේරුවට ලක් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන අතර, එසේ සිදුවුවහොත් පක්ෂයේ ශක්තිය ඔවුන් සියලුදෙනාට පෙන්විමට සූදානම් බව අවධාරණය කරන ජනාධිපතිතුමා පක්ෂයටත්, පාක්ෂිකයන්ටත් අසාධාරණයක් සිදු නොවන සියලුදෙනාට පිළිගත හැකි සහ සතුටට පත්විය හැකි වැඩපිළිවෙළකට ඉදිරියේදී සූදානම් බව කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) පස්වරුවේ රත්නපුරයේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට නියමිත සමුළු මාලාවේ ප්‍රථම සමුළුව පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ රත්නපුරේ දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුව ද, ඡන්ද පසුබිම සලකා බලන විට එම කිසිවෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නැතිව ජයග්‍රහණය කළ නොහැකි බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ ජනාධිපති ධූරය මෙන්ම පස් වසරක් පුරා ජනතා සුබසෙත වෙනුවෙන් ක්‍රියාත්මක කළ ශූද්ධ වූ වැඩපිළිවෙළක ප්‍රතිඵලත් සමඟ බව ද ජනාධිපතිතුමා කියා සිටියේය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙපාර්ශ්වයෙන්ම ආරාධනා ලැබී ඇති අතර එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු සාකච්ඡාවකට එක්ව නොමැති බව සඳහන් කළ ජනාධිපතිතුමා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා වට කිහිපයකට එක්ව සිටින්නේ අංක 01ට මාතෘ භූමියත්, අංක 02ට පක්ෂයේ අනන්‍යතාවයත් තබමින් බව ද සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා කියා සිටියේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර ආරක්ෂා වී තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඉදිරිපත් කළ ලිපිය හේතුවෙන් වන අතර එහි ඉහළම නායකයන්ට සහ පහළ පාක්ෂිකයන්ට ඒ පිළිබඳ කෙළෙහිගුණයක් ඇතිමුත් දෙවන පෙළ ඇතැම් පිරිසකට එය අමතක වී තිබීම පිළිබඳ තමා කනගාටු වන බවයි.

මැතිවරණය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් යන දෙපාර්ශ්වයම මේ වන විට තානාපති කාර්යාල සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද පැවසූ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එවන් කොන්දේසි කිසිවක් නොමැති බවත් අපේකම, ස්වදේශීයත්ව සහ සංස්කෘතිය අගයන, වංචාවෙන් දූෂණයෙන් තොර නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දෙන බවත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, තිලංග සුමතිපාල, වීරකුමාර දිසානායක, රෝහණ ලක්ෂ්මන් පියදාස, ශාන්ත බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක යන මහත්වරුන් සහ අතුල කුමාර රාහුබද්ධ, භානු මනුප්‍රිය යන මහත්වරුන් ඇතුළු රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *