විෂය භාර ඇමැතිට නොදන්වා නව සුරාබදු බලපත් 84ක් ලබාදීම සොයන්න

(කොළඹ, ලංකාපුවත්) –විෂය භාර ඇමැතිවරයාටත් නොදන්වා හොර රහසේ අලුතින් සුරාබදු බලපත්‍ර 84 ක් පසුගිය අවුරුදු දෙක තුළ ලබාදීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් එච්. ජී. සුමනසිංහ මහතාට නියෝග කොට තිබේ.

මේ අනුව වසර 2017 දී අලුතින් සුරාබදු බලපත්‍ර 10 ක් ද, 2018 දී බලපත්‍ර 74 ක් ද ඇමැතිවරයාටත් නොදන්වා හොර රහසේ ලබාදුන්නේ කවුරුන්ද? එය සිදුකළේ කෙසේද? ඔවුන්ට එරෙහිව ගත යුතු දැඩි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ මේ පරීක්ෂණ වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කෙරෙනු ඇත.

සුරාබදු ආඥා පනතට අනුව අලුතින් සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී අනුගමනය කළ යුතු විධිවිධාන නොසලකා හැර මෙසේ බලපත්‍ර ලබාදීමක් සිදුකර ඇත්තේ කෙසේදැයි තමාට දැනගත යුතු බවද මංගල සමරවිර මහතා අවධාරණය කර ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් අනුගමනය කරන ලද පිළිවෙත අනුව සුරාබදු බලපත්‍රයක් නිකුත් කළ සෑම අවස්ථාවකදීම විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතියක් ලබාගැනීම හෝ අමාත්‍යවරයා වෙත දැනුම්දීමක් හෝ සිදුකෙරේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 වසරට අලුතින් සුරාබදු බලපත්‍ර 10 ක් ද, 2018 වසරට බලපත්‍ර 74 ක් ද නිකුත් කර ඇත. ඒ සඳහා සුරාබදු ආඥා පනතේ ප්‍රතිපාදනවල සඳහන් පරිදි මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියක් ලබාගෙන හෝ අමාත්‍යවරයා වෙත දැනුම්දීමක් හෝ කර නොමැති බව වාර්තා වේ.

සුරාබදු ආඥා පනත යටතේ විෂය භාර අමාත්‍යවරයා විසින් අවශ්‍ය යැයි තීරණය කළ අවස්ථාවකදී හේතු දැක්වීමකින් තොරව සුරාබදු බලපත්‍රයක් ප්‍රදානය කිරීමට, අලුත්කිරීමට හෝ අවලංගු කිරීමට අමාත්‍යවරයා වෙත බලය පැවරී ඇත.

2017 හා 2018 වසරවලදී මෙසේ අමාත්‍යවරයාට දැනුම්දීමකින් තොරව ලබාදී ඇති සුරාබදු බලපත්‍ර පිළිබඳව පරීක්ෂණයක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝගය පරිදි දැනටමත් ආරම්භ කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එච්. ජී. සුමනසිංහ මහතා පැවැසීය. සුරාබදු පනතේ විධිවිධාන පරිදි සුදුසුකම් නොමැති බවට මෙම පරීක්ෂණවලදී තහවුරු වුවහොත් එවන් බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එච්. ජී. සුමනසිංහ මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *