හංවැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 02ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –හංවැල්ල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පොලිසිය විසින් මෙතෙක් සිදු කරන ලද විමර්ෂණයේදී එම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අතරින් සැකකරුවන් දෙදෙනෙකු අද (16) අළුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළ යතුරුපැදියක් හා වෑන් රථයක් ද සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ඊයේ (15) රාත්‍රි 9.15ට පමණ හංවැල්ල පරණපාර ඇඹුල්ගම හන්දියේදී සිදු වූ මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් වෙඩි වැදී ඇති පුද්ගලයින් ගණන 03දෙනෙකි.

එක් අයෙකු නවගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 23ක් වන ජල්තර රණාල පදිංචි සුරේෂ් ගුණසිංහ නම් අයෙකි.

අනෙක් තුවාලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් හෝමාගම රෝහලටත් අනෙක් පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලටත් ඇතුළත් කර තිබුණි. හෝමාගම රෝහලට ඇතුළත් කළ පුද්ගලයා වයස අවුරුදු 26ක් වූ ජල්තර රණාල පදිංචි ඉඳුනිල් වජිර කුමාර නැමැත්තෙකි. ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ තුවාලකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *