පලාලි ගුවන්තොටුපොළේ සියයට හැත්තෑවක වැඩ අවසන්

(කොළඹ, ලංකාපුවත්) –කලාපීය සහ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙසට ප්‍ර‍වර්ධනය කෙරෙන පලාලි ගුවන්තොටුපොළේ පළමු අදියරේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කෙරෙන ඉදිකිරීම්වලින් සියයට 70ක වැඩ අවසන් වී තිබේ.

ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම විසින් සිදු කෙරෙන ඉදිකිරීම්වලින් සියයට 55ක ප්‍ර‍මාණයක්ද මේ වන විට අවසන්ව ඇතැයි ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ පවසයි.

සමස්තයක් ලෙසට පළමු අදියරේ සියලු මූලික සැකැස්මේ ඉදිකිරීම් කටයුතු අවසන්ව ඇතැයිද අනාවරණය විය. ඒ ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පලාලි ගුවන්තොටුපොළේ ඊයේ(15) කළ හදිසි නීරීක්ෂණ චාරිකාවකදී ය.

ලබන මස 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පලාලි ගුවන්තොටුපොළහි ජාත්‍යන්තර ගුවන් ගමන් උත්සවාකාරයෙන් සිදු කෙරෙනු ඇත. ඒ සඳහා එම ගුවන් තොටුපොළෙහි පළමු අදියරෙහි ඉදිකිරීම් ලබන මස 10 වැනිදා වන විට අවසන් කිරීම මූලික ඉලක්කය වේ. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා පලාලි ගුවන්තොටුපොළෙහි ඉදිකිරීම් නියාමානුකූලව සිදු වන්නේ දැයි සොයා බැලීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ හෝ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හෝ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ හෝ කිසිඳු නිලධාරීයකු නොමැතිව පුද්ගලිකවම එම නිරීක්ෂණ චාරිකාව සිදු කිරීමද විශේෂත්වයකි.

එහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ මූලික සැකැස්මෙහි ඉදිකිරීම් අවසන් වීමෙන් අනතුරුව සෙසු කටයුතු (Finishing working) දැන් සිදු කරමින් පවතින බවයි. ඒ අනුව ගුවන් තොටුපොළේ ගුවන් යාත්‍රාංගණය, ප්‍රධාන මෙහෙයුම් කුළුණ, ගිනි නිවීමේ අංගනය, පර්යන්ත ගොඩනැගිල්ල, විදුලිජනක පද්ධති ගොඩනැගිල්ල වැඩ නිම වෙමින් පවතින බවද මෙහිදී දැක ගත හැකි විය. ඒ ගැන අදහස් දක්වමින් ඉරිදා දිනයේදීත් ඉදිකිරීම් කටයුතුවල නිරත සියලු සේවක මහතුන්ට සිය ස්තුතිය පිරි නැමූ අර්ජුන රණතුංග මහතා ඉලක්ක ගත දිනයට වැඩ අවසන් කිරීම සඳහා කටයුතු කරන මෙන් තවදුරටත් උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *