පුළුල් බලවේග එකතු කරගත හැකි ජනපතිවරණය ජයගන්නා ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන්න

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට පුළුල් බලවේග එකතු කර ගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය බලාපොරොත්තු වන සෑම අ‍පේක්ෂකයකුටම තමා දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකතුවේ සාමාජිකයන් හමුවේ ඊයේ (15) සඳහන් කළේය.

අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ ( 15 ) කොළඹ අරලියගහ මන්දිරයේ දී මුනගැසී සාකච්ඡා කළ අවස්ථාවේදීය.

ඉදිරිපත් වන සියලු කරණා සලකා බලා අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සිදු කරන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

මේ සාකච්ජාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල නාහිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය, සුනිල් ද සිල්වා, රාජා උස්වැටකෙයියාව, ආචාර්ය ජෙහාන් පෙරේරා, ප්‍රියදර්ශනී ආරියරත්න ඇතුළු සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත පිරිසක් සහභාගි වූහ.

එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයා කවුරුන් විය යුතුද යන්න මෙහිදී නියෝජිතයන්ගේ අවධානයට ලක්වූ බවද එමෙන්ම 2015 ජනාධිපතිවරණයේ දී එකඟ වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ ජනවර්ග ප්‍රශ්නයට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් ලබාදීම යන ප්‍රධාන ඉල්ලීම් ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න ගැන ද මෙහිදී සාකච්ඡා වූ අතර විශේෂයෙන්ම පසුගිය මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ‍ට සහාය පළ කළ ජාතිවාදය සහ ආගම්වාදයට එරෙහිව අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබා ගැනීම වැදගත් බව පෙන්වා දුන් බවද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා දිනමිණට පැවසීය.

සාකච්ඡාව පිළිබඳව අදහස් දැක්වූ දඹර අමිල නාහිමියන් සඳහන් කර ඇත්තේ මේ ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි. කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ සන්ධානය සහ වැඩපිළිවෙළ මෙහෙයවිය යුතු බවත්, එමෙන්ම ඉදිරියේදී ගොඩනගන ආණ්ඩුවකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අත්‍යවශ්‍ය බවත් ප්‍රකාශ කොට ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන සටන් පාඨය මත පුළුල්ම එකතුව ගොඩ නැඟිය යුතු බවත්, ඒ සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කොට කෙටි කලක් තුළ එම කටයුත්ත සම්පූර්ණ කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් මෙහිදී සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර ඇත.

සුළු ජාතික පක්ෂවල සහයෝගය ලබා ගැනීමේ වැදගත්කම ද මෙහිදි අවධාරණය වී‍ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *