අපේක්ෂකයා ඉක්මනින් නම් කරන්න

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඉක්මනින් නම් කරන ලෙස ඉල්ලා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ලිඛිතව දැනුම් දුන් බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සෑමවිටම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන තමන්ව ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් නම් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම කඩිනමින් රැස්කර ඔවුන්ගෙන් විමසා තීරණය කරන ලෙසත් අමාත්‍යවරයා සඳහන් කළේය. කුමන ගැටලු පැමිණියත් එ.ජා.ප. ජයග්‍රහණය කරවීමේ මෙහෙයුමට තමන් නායකත්වය ලබාදීමට සූදානම් බවත්, ඉතාම ඉක්මනින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බැවින් අප ඊට සූදානම් විය යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම, උද්ධගන්දර ප්‍රදේශයේ ඉදිකළ “සඳකුසුම්ගම” සහ “සැදෑතිස්ගම” යන උදා ගම්මාන 2 ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊ‍යේ (16) දින සහභාගි වෙමිනි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 287 සහ 288 වන ආදර්ශ ගම්මාන වේ.

උදා ගම්මාන 2 හි ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 68කි. මෙම ගම්මාන අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 628කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශමාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙම උදා ගම්මාන දෙක සමන්විත වේ.

මෙම උත්සවයට සමගාමීව නිවාසලාභීන් 68 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 680ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 68ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100කට රුපියල් ලක්ෂ 200ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 706කට රුපියල් ලක්ෂ 1246ක් වටිනා සිමෙන්ති ආධාර, පවුල් 11කට රුපියල් ලක්ෂ 22ක් වටිනා “සොඳුරු පියස නිවාස ණය”, පවුල් 38 කට රුපියල් ලක්ෂ 190ක් වටිනා ‘සෙවණ නිවාස ආධාර’, පවුල් 25 කට රුපියල් ලක්ෂ 125ක් වටිනා ‘සංචාරක පොඩ්ඩා ණය’, පවුල් 23කට ඉඩම් බලපත්‍ර සහ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් 75 දෙනකුට නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

අනතුරුව තිස්සමහාරාම උද්ධගන්දර ප්‍රදේශයේ ඉදිකෙරෙන 2555 සහ 2556 වන උදා ගම්මාන වන ‘සමසේසත්ගම’ සහ ‘සවිසුරුගම’ සඳහා මුල්ගල් තැබීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.

මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × four =