කෘෂිකර්ම අමාත්‍යාංශයට ඩී. පී. ජේ. ගොඩනැගිල්ල ගත්තේ කැබිනට් තීරණයකට

(කොළඹ, ලංකාපුවත්) –ඩී. පී. ජේ. ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය තෝරා ගත්තේ කැබිනට් තීරණයකට අනුව බවත් එම ගොඩනැගිල්ල තෝරා ගන්නා ලෙසට තමා කිසිවිටකත් දැනුම් නොදුන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ ඊයේ (16) සාක්ෂි දෙමින් පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලියට ගැනීමට ගොඩනැගිලි තුනක් පරීක්ෂා කර බලා තීරණය ගන්නා ලෙසට දැනුම් දුන් බවත් එසේ නැතිව එක ගොඩනැගිල්ලක් ගැන පමණක් තමා කිසිවිටකවත් ප්‍රකාශ නොකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සාක්ෂි දෙමින් පැවසීය.

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා දෙකකටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවටත් කැඳවීම් අනුව නොපැකිලව ඉදිරිපත්වෙමින් සාක්ෂි ලබාදීමට අග්‍රාමාත්‍යවරයා මේ වනවිට පියවර ගෙන තිබේ. සෙත්සිරිපාය අදියර තුන ක්‍රියාත්මක වනතුරු පෞද්ගලික ගොඩනැගිල්ලකට යායුතු බවට ඒ සඳහා පත්කර තිබුණ කමිටුව තීරණය කර තිබුණ බවත් අගමැතිවරයා වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවසීය.

අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මියගේ මෙහෙයවීම මත අගමැතිවරයා සාක්ෂි ලබාදුන්නේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් හෙබි විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනි වීරවර්ධන මහත්මිය ඇතුළුව විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එම්. පී. ධර්මරත්න, ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්. කේ. කේ. කුමාරසිරි මහත්වරුන‍්ගෙන් හෙබි වංචා, දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ විමසීම් හමුවේ තවදුරටත් සාක්ෂි දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලිත සමරසිංහ මහතා සුහුරුපාය ගොඩනැගිල්ලේ පහළොස්වන මහල කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදිය යුතු බවට තීරණය කර තිබීම මම දැනගෙන හිටියේ නෑ. ඩී. පී. ජේ. ගොඩනැගිල්ලට අදාළ ඉඩමට බෙදුම් නඩුවක් තිබෙන බව මම දැන සිටියේ නෑ. එම නඩුවේ දහවෙනි සහ එකො‍ළොස් වැනි පාර්ශ්වකරුවන් ලෙස උපාලි ජයසිංහ, දිල්ෂාන් ජයසිංහ ලෙස ලැයිස්තුගතව තිබෙන බවත් දැන සිටියේ නෑ. මෙම ගොඩනැගිල්ල සම්බන්ධව එහි අභ්‍යන්තරය ගැන කිසිවක් මම දැන සිටියේ නෑ.

පාර්ලිමේන්තුව හා ඒ අවට සම්බන්ධ කර තිබෙන ප්‍රධාන සැලසුමට අනුව ජනාධිපති, අගමැති කාර්යාල නිල නිවාස කථානායක නිල නිවස කාර්යාලය ඇතුළුව නව ගොඩනැගිලි රැසක් ඉදිකළ යුතුයි. ඒ සඳහා මුදල් වැයකිරීමට නොහැකියි. හේතුව මුදල් නොමැතිකමයි. ඊටත් වඩා වැදගත් වන්නේ කුලුනු මත මහාමාර්ගය කඩුවෙල දක්වා ගෙන ගොස් ජනතාවට මාර්ග පහසුව ලබාදීමයි යනුවෙන් අග්‍රාමාත්‍යවරයා සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.

ඩී. පී. ජේ. ගොඩනැගිල්ල කුලියට ගැනීම පසුපස යම් කුමන්ත්‍රණයක් දියත්ව තිබුණේදැයි සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතාගේ විමසීමක් හමුවේ පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව කිසිවක් කිව නොහැකි බවයි. නමුත් එම ගොඩනැගිල්ලට යාමෙන් පසුව ගැටලු රැසක් ඇතිවුණ බවත් අගමැතිවරයා සාක්ෂි දෙමින් පැවසීය.

අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් කොමිසම හමුවේ ඉදිරිපත්වුණ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ සමස්ත ඇමැතිවරුන්ගේ අධීක්ෂණය අග්‍රාමාත්‍යවරයා යටතේ තිබෙනවාදැයි යන්නයි. එයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුනුත් ආණ්ඩුව නියෝජනය කළ නිසා එම ඇමැතිවරුන් ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේත් එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන්ගේ අධීක්ෂණය තමා යටතේත් පත්වුණ බවයි.

පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ප්‍රකාශ සත්‍ය ප්‍රකාශ ලෙසත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කොමිසම විසින් පෙන්වා දුන් සමහර කරුණු අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේය. භාෂා පරිවර්තක ඩබ්ලිව්. කේ. කේ. නිමල් මහතා සහ ආරච්චි පී. ඩී. චන්ද්‍රසිංහආරච්චි මහත්වරු කොමිසමට සහාය දැක්වූහ.

අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා, නීතිඥ දිනේෂ් විදානපතිරණ මහත්වරු පෙනී සිටියහ. මෙම අවස්ථාවට ඇමැති ජනාධිපති නීතිඥ තිලක් මාරපන, ඇමැති වජිර අබේවර්ධන, ඇමැති රවි කරුණානායක, ඇමැති රාජිත සේනාරත්න, ඇමැති නීතිඥ අකිල විරාජ් කාරියවසම්, ඇමැති දයා ගමගේ, නියෝජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරු සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 11 =