හලාවත පොලීසියේ අටදෙනෙකුගේ වැඩ තහනම්

(කොළඹ, ලංකාපුවත්) –හලාවත කොට්ඨාසයේ හලාවත මුලස්ථානයේ පොලීසියට අනුයුක්තව කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ රාජකාරි සිදු කළ පොලිස් නිලධාරින් අටදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ ස්ථානාධිපති ලෙස රාජකාරි සිදු කළ උප පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයින් 5ක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු ඇතුළු අටදෙනෙකුගෙන් යුත් කණ්ඩායමකගේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ලද තොරතුරු මත පසුගිය 06වන දින මෙම කණ්ඩායම වෙන්නප්පුව පොලිස් වසමේ හෝටලයක මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිද සැකකරුවන් 20කට වඩා වැඩි ප්‍රමාණයකින් 09 දෙනෙකු පමණක් අත්අඩංගුවට ගෙන ඉතිරි සැකකරුවන් මුදාහැරීමට කටයුතු කර ඇත. මීට අමතරව සූදූ පිටියේ තිබු මුදල් හා සැකකරුවන් සන්තකයේ තිබු මුදල් අයථා ලෙස ලබාගෙන දුෂිත ක්‍රියාවක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම කරුණු මත, නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී විසින් විමර්ශන සිදු කර පසුව නිලධාරින්ගේ වැඩ තහනම් කළ බව පොලිස් නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *