අල්ලස හා දූෂණයට එරෙහිව ‘කැෆේ‘ ගමින් ගමට යයි

(කොළඹ, ලංකාපුවත්) – කැෆේ සංවිධානය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක් ව සංවිධානය කළ අල්ලස් හෝ දූෂණ මර්දනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් රැසක් පසුගිය මාස 6 ක කාලය පුරා උතුරු නැගෙනහිර සහ මධ්‍යම පළාත් වල අති සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කෙරිණ

මෙම වැඩ සටහන යටතේ ඉහත පළාත් වල සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සිවිල් සංවිධාන නියෝජිතයින් පළාත් පාලන නියෝජිතවරුන් රාජ්‍ය නිලධාරීවරුන් සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩ සටහන් මාලාවක් පැවැත්විණ .

එහි දෙවන අදියර යටතේ මහජනතාව දැනුවත් කිරීම සඳහා වන විශේෂ වැඩ සටහන ආරම්භ කිරීම සඳහා කැෆේ සංවිධානය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් කර තිබේ.මේ යටතේ විවිධ ප්‍රචාරක ක්‍රම රැසක් යොදා ගනිමින් මහජනතාව දැනුවත් කිරීමට නියමිත අතර ඩිජිටල් ප්‍රචාරක පුවරුවක් සහිත ප්‍රචාරක රථයක් මගින් ගම් මට්ටමේ ජනතාව දැනුවත් කිරීමට කැෆේ සංවිධානය අපේක්ෂා කරයි.

අල්ලස සහ දූෂණය මර්දනය කිරීම සඳහා වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජාතික සැලැස්මට අනුව මහජනතාව දැනුවත් කිරීමේ කාර්ය භාරය ඉටු කිරීම මෙම වැඩ සටහනෙහි අරමුණයි. අල්ලස් හෝ දූෂණ සිදුවීම් පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා වන 1954 ක්ෂණික ඇමතුම් අංකය පිළිබඳ ව මහජනතාව දැනුවත් කරමින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා මහජන සහභාගීත්වය ලබා ගැනීම ද මෙහි දී අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහනෙහි දෙවන අදියර දියත් කිරීම අද අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරිණ.

එම අවස්ථාව සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ගරු අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා සහ නීති අංශයේ සහකාර අධ්‍යක්ෂ එස්.එම් සබ්‍රි මහතා මෙන්ම කැෆේ සංවිධානයේ වැඩ බලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ශෂික මාදි‍වෙල, නිරෝෂන් පීරීස් යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *