අසත්‍ය ප්‍රචාරවලට දැඩි දඩුවම් ලබා දීමේ නීති මේ දිනවල සැකසේ

(කොළඹ, ලංකාපුවත්) – අසත්‍ය ප්‍රචාරවලට දැඩි දඩුවම් ලබා දීමේ නීති මේ දවස්වල සකස් කර ගෙන යන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ ළගම පාසල හොදම පාසල වැඩ සටහන යටතේ පාසල් ගොඩනැගිලි 500 ක් විවෘත කිරීම යටතේ බලංගොඩ කුමර විද්‍යාලයේ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (16) එක්වෙමිනි. මේ සඳහා රුපියල් ලක්ෂ 105 ක් වැය කර තිබේ.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

“අද අපි අධ්‍යාපන විෂය මාලාවට නීතිය විෂයක් ලෙස හදුන්වා දීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා.නීතිය නොදැන ගෙන සිටීම නිදහසට කාරණයක් නෙවෙයි.

නීතිය නොදැන ගෙන සිටීම නිසා දරුවන් වැරදි කරනවා.දැන් සමහර අය මේ වන විට අසත්‍ය ප්‍රචාර Fake News ප්‍රචාරය කරනවා. අපි ඒකට අවශ්‍ය නීති ගේනවා.අසත්‍ය ප්‍රචාරවලට දැඩි දඩුවම් ලබා දීමේ නීති මේ දවස්වල සකස් කර ගෙන යනවා.පසුගිය දවසක රත්නපුර කලාපයේ පාසලක ළමයින් හෙල්මට් දා ගෙන පන්තියේ ඉන්නවා මුහුණු පොතේ දාලා තිබුණා.අපි පරීක්ෂණයක් ඉල්ලුවා. මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මේවා කරන්නේ.ඉතිං ආණ්ඩුව කීයටවත් අපහසුතාවයට පත් වෙන්නේ නැහැ.

අසත්‍ය ප්‍රකාශ දිගින් දිගටම කර ගෙන යනවා.මේ රජය ආව ගමන් හැදුවේ මාධ්‍ය නිදහසයි.වැඩියෙන්ම විවේචනයට ලක් වෙන්නේ ජනාධිපතිතුමා අගමැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ අපියි.“ යනුවෙන් ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කලාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *