මධූෂ් සම්බන්ධ පුද්ගලික පැමිණිල්ල අවසන් කරන්නැයි නියෝග

(කොළඹ, ලංකාපුවත්) – ඩුබායි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කළ මාකදුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ අයුතු සිරකර තැබීමක් සිදු කර ඇති බවට තීරණය කිරීමට ප්‍රමාණවත් කරුණු නැතැයි කියමින් සැකකාර මධුෂ් වෙනුවෙන් නිතිඥ ජාලිය සමරසිංහ මහතා ගොනු කර තිබූ පුද්ගලික පැමිණිල්ල සම්බන්ධ නඩු කටයුතු අවසන් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) නියෝග කළේය.

සිද්ධියට අදාළව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මේ බව කියා සිටි මහේස්ත්‍රාත්වරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්තීන්ට අනුව අයුතු සිරකර තැබීම යන වගන්ති ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට සිතාසි නිකුත් කිරීමට ප්‍රමාණවත් කරුණු නැතැයි පැවසිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සිද්ධියට අදාළව අද අධිකරණයේ පෙනී සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරිමට සැළසුම් කළ බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාකදුරේ මධුෂ් රදවා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් සහ ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් නිතිඥ ජාලිය සමරසිංහ මහතා පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිදු කළ නඩුව කැදවු අවස්ථාවේ මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය සිදු කළේය.

ඩුබායි අත්අඩංගුවේ සිටි මාකදුරේ මධුෂ් මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු රඳවා ප්‍රශ්න කරන බව පුද්ගලික පැමිණිල්ල හරහා දන්වා ඇති නිතිඥවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් මාකදුරේ මධුෂ්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නැති බවත් ඔහු රඳවා ප්‍රශ්න කරන්නේ කුමන නෛතික ප්‍රතිපාදන යටතේ ද යන්න නිතිඥ ජාලිය සමරසිංහ මහතා පුද්ගලික පැමිණිල්ල හරහා අධිකරණයෙන් විමසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු කටයුතු අවසන් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =