සන්ධානයට සියල්ල සුදානම් – එජාප මහලේකම්

(කොළඹ, ලංකාපුවත්) –එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තෝරා ගනු ලබන අපේක්‍ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂය තුළ හා ඒ සමඟ සන්ධාන ගතවන පක්‍ෂ සහ සංවිධාන තුළ අර්බුදයක් ඇතැයි මවා පෑමට යම් යම් පාර්ශ්වයන් සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (17) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනුයේ පුළුල් සන්ධානයකින් බවත් එය පිහිටුවීම පිළිබඳව අවසන් එකඟතාවන්ට එළැඹ ඇති බවත් මහලේකම්වරයා පැවසීය. එම එකඟතාවන්ට අනුව අපේක්‍ෂකයා ඉදිරිපත් කෙරෙනුයේ එක්සත් ජාතික පක්‍ෂයෙන් බවත් මේ පදනම මත එක්සත් ජාතික පක්‍ෂය මඟින් සුදුසු අපේක්‍ෂකයා තෝරා පත් කර ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් හා සම්ප්‍රදායන් ආරක්‍ෂා කර ගනිමින් පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව අපේක්‍ෂකයා තෝරා ගන්නා බවත් ඒ තෝරා ගැනීමෙන් පසු සන්ධානයට අයත් සියලු පාර්ශ්වයන්ගේ සහාය ඇතිව අපේක්‍ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා සියලු දෙනා පරිපූර්ණ ලෙස කැපවී කටයුතු කරන බවත් එම නිවේදනයෙන් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + three =