ඩෙංගු මඬින්න පියවර

(කොළඹ, ලංකාපුවත්) –ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය මඟින් ඒ සඳහා පියවර රැසක් ක්‍රියාත්මක කරයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි. විශේෂයෙන්ම කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි ඩෙංගු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති බවට වාර්තා වන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම පියවරයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුළින් ඩෙංගු රෝගය මර්දනයට සහ රටවැසියන්ගේ ජීවිත අවදානම තුරන් කිරීම උදෙසා මහජනතාව දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය සාධකයකි. තමා ජීවත් වන අවට පරිසරය මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පිරිසිදුව පවත්වා ගත යුතු බව වෛද්‍යවරුන් මහජනතාවට දැනුම් දෙති.

කිසියම් පුද්ගලයකුට උණ රෝගය වැළඳි දින දෙකක් ගත වීමෙන් පසුව රුධිර පරීක්ෂාවක් කර ගත යුතු බවත් පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් උණට භාවිතා නොකළ යුතු බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

උණ රෝගය පාලනයට වේදනා නාශක ඖෂධ, ප්‍රතිඅසාත්මික ඖෂධ හා ස්ටීරොයිඩ් ඖෂධ භාවිතයෙන් වැළකිය යුතු අතර උණ රෝගය සෑදීමෙන් පසු ප්‍රමාද වී වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමෙන් ජීවිතය පවා අහිමි වීමේ අවදානමක් පවතින්නේ යැයි ද අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *