අල්ලස හා දුෂණයට එරෙහිව යාපනයේදී ඉහළ ප්‍රතිචාර

(කොළඹ, ලංකාපුවත්) –අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ වන මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන යාපනයෙන් ඇරඹෙයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ කැෆේ සංවිධානය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ(18) මෙම වැඩසටහන පැවැත්විණ. මෙම වැඩමුළුව සඳහා පළාත් පාලන නියෝජිතවරියන්, සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු 300කට අධික පිරිසක් එක්වූහ. යාපනය සහකාර දිස්ත්‍රික් ලේකම් ක්‍රීෂාන්තිනි, සහකාර මැතිවරණ කොමසාරිස් එස් අමල්රාජ්, අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිසමේ නීති අංශයේ සහකාර අධ්‍යක්ෂ එස්.එම් සබ්‍රි මහතා මෙන්ම කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් සහ අධ්‍යක්ෂවරුන් වන නිරෝෂණ පීරිස්, ශෂික මාදිවල යන මහත්වරු මේ සඳහා එක්වූහ.

මෙහිදී අදහස් දැක්වූ කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේ අල්ලස හා දූෂණය තුරන් කිරීම සදහා මහජන සහය අත්‍යවශ්‍ය බවයි. එය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පමණක් තනිව කළ නොහැකි කාර්යයක් බව පෙන්වා දුන් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ අල්ලස හා දුෂණය තුරන් කිරීම සඳහා වන මහජන වගකීම ක්‍රියාවට නැංවීම මෙම වැඩසටහනෙහි අරමුණ බවයි. අල්ලස් හා දුෂණය පිළිකාවක් ලෙස සමාජය පුරා සීඝ්‍රයෙන් වර්ධනය වන බවත් එය වළක්වා ගැනීම සියලු දෙනාගේ යුතුකම බවත් හෙතෙම මෙහිදී අවධාරණය කළේය. තම දරු දැරියන්ගේ අනාගතය වෙනුවෙන් අද දවසේ සියලු දෙනා වෙහෙසෙන බව පෙන්වා දුන් මනාස් මකීන් මහාතා අවධාරණය කළේ හෙට දවසේ ඔවුන්ට උරුම වන්නේ අල්ලසින් හා දුෂණයෙන් පිරි සමාජයක් නම් එය බරපතල තත්වයක් බවයි. දරුවන්ගේ අනාගතය පිළිබද සිතා මතා කටයුතු කරන්නේ නම් අල්ලස හා දුෂණය තුරන් කිරීම එහි ප්‍රමුඛ කාර්යයක් විය යුතු බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය. මෙම ක්‍රියාවලිය සඳහා සිවිල් සංවිධාන, රාජ්‍ය නිලධාරින්, පළාත් පාලන නියෝජිතයින්, බලපෑම් කණ්ඩායම්, සහ සමාන්‍ය පුරවැසියා ආදී සියලු පාර්ශව එක්විය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

අල්ලස් හෝ දුෂණ සිදුවීමක් පිළිබඳ දැන දැන නිහඩව සිටීම රටට සමාජයට කරන බරපතලම හානිය බව අවධාරණය කළ මනාස් මකීන් මහතා කියා සිටියේ නාමිකව පැමිණිලි ඉදිරිපත් කළ නොහැකි නම් නිර්නාමිකව වුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත සත්‍ය පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි. 1954 නැමති දුරකථන අංකය ඔස්සේ භාෂා තුනෙන්ම පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් ඒ සදහා වන ජනතා උනන්දුව වර්ධනය විය යුතුව ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

කැෆේ සංවිධානය සහ අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම පසුගිය මාස 6ක් පුරා උතුර නැගෙනහිර හා මධ්‍යම යන පළාත්වල සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි රාජ්‍ය නිලධාරීන්, සිවිල් ක්‍රියාධරයින්, සහ දේශපාලන නායකයින් අල්ලස් හෝ දුෂණ මර්ධනය පිළිබඳ දැනුවත් කළ අතර එහි දෙවන පියවර යටතේ මහජනයා දැනුවත් කිරීමට අපේක්ෂිතය. ඒ අනුව පොස්ටර්, අත් පත්‍රිකා සහ ස්ටිකර් මඟින් ඩිජිටල් පුවරු සහිත රථයක් යොදාගනිමින් ගම් මට්ටමට ගොස් අල්ලස හා දුෂණය පිළිබද මහජනයා දැනුවත් කිරීමට කැෆේ සංවිධානය අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × five =