රට පුරා මහ වැසි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක ආපදා තත්ත්වයක් උද්ගත වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (23) නිවේදනය කළේය.

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කළුතර, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, දොඩාංගොඩ, ඉංගිරිය, මතුගම සහ වලල්ලාවිට කලාපය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොටද, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, ඉමදුව, නාගොඩ, නෙලුව, නියාගම සහ තවලම යන ප්‍රදේශයන් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇති අතර එම ප්‍රදේශ සඳහා පූර්ව අනතුරු ඇගවීම් නිවේදනද නිකුත් කර තිබේ.

එසේම අධික වර්ෂාව හේතුවෙන් කළු, නිල්වලා සහ ගිං ගඟෙහි ජල මට්ටම මේ වන විටත් ඉහළයමින් පවතී. කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන්ද නිල්වලා ගඟ පනාදුගම ප්‍රදේශයෙන්ද ගිං ගඟ තවලම සහ බද්දේගම ප්‍ර දේශවලින්ද සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එසේම දිවයිනට ලැබුණු වර්ෂාව හේතුවෙන් පවුල් 1,426කට අයත් පුද්ගලයන් 5,669 දෙනෙක් පීඩාවට පත්ව තිබේ. එසේම මේ වනවිට සබරගමු පළාතේ පවුල් 21කට අයත් පුද්ගලයින් 96 දෙනෙක්, මධ්‍යම පළාතේ පවුල් 44කට අයත් පුද්ගලයින් 189ක්, දකුණු පළාතේ පවුල් 136කට අයත් පුද්ගලයින් 566ක්, බස්නාහිර පළාතේ පවුල් 775කට අයත් පුද්ගලයින් 3,139ක් පීඩාවට පත්ව තිබේ. එමෙන්ම නැගෙනහිර පළාතේ පවුල් 17කට අයත් පුද්ගලයින් 58ක්, ඌව පළාතේ පවුල් 23කට අයත් පුද්ගලයින් 88ක්, වයඹ පළාතේ පවුල් 50කට අයත් පුද්ගලයින් 173ක් සහ උතුරු පළාතේ පවුල් 359කට අයත් පුද්ගලයින් 1360ක්ද මෙලෙස පීඩාවට පත්ව තිබේ. ආපදා තත්ත්වය හේතුවෙන් පුර්ණ හානි 19ක් සහ අර්ධ හානි 319ක් වාර්තා වන අතර පවුල් 326කට අයත් පුද්ගලයින් 1,323දෙනකු ආරක්ෂිත ස්ථාන 5ක මේ වන විට රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × four =