අවතැන් කඳවුරු වෙත කිසිදු අයකිරීමකින් තොරව කඩිනමින් විදුලිය

(කොළඹ, ලංකාපුවත්) – පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පිරිස් රදවා තබන තාවකාලික කදවුරු වෙත නොමිලයේ විදුලිය පහසුකම් සැපයීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ අදාළ අංශ වෙත උපදෙස් දි තිබේ.

දින ගණනාවක් මුළුල්ලේ දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි ගස් කඩාවාටීම් සහ නායයාම් තත්ත්වයන් ඇති වී තිබෙන අතර ඒතුළින් නිවාස වලට විශාල වශයෙන් හානි සිදුවී ඇත. ඒ අනුව ස්වභාවික විපත් හේතුවෙන් අවතැන් වු පිරිස් මේ වනවිට ආරක්ෂිත ස්ථානයන් වෙත යොමු කිරමින් ඔවුන්ට සහන සැලසීමට රජය විසින් පියවර ගෙන තිබේ. පාසල්, පන්සල් ආදි ඉඩකඩ සහිත ස්ථානයන් මේ සදහා තෝරාගෙන ඇති අතර එවැනි තාවකාලික කදවුරු සදහා අත්‍යාවශ්‍ය පහසුකම් සැපයීමට රජය විසින් පියවර ගනිමින් සිටී.

ඒ අනුව මේ වනවිට දිවයිනේ සක්‍රීයව පවතින අයහපත් කාලගුණික තත්ත්වය පහව ගොස්, අවතැන් වූ පිරිස් නැවත සිය ස්ථීර වාසස්ථාන කරා යොමුකරවන තෙක්, ඔවුන් රදවා තබන තාවකාලික කදවුරු වෙත කිසිදු මුදලක් අයකිරීමකින් තොරව විදුලිය පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *