සියලු ආබාධිත සෙබළුන්ට ජීවිතාන්තය තෙක් වැටුප්

(කොළඹ, ලංකාපුවත්) – යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් විශ්‍රාම ගිය පසුවද ඔවුන් අවසන් වරට ලැබූ වැටුපටම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් ලබාදීමට ඊයේ (24) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

ඒ අනුව ඊයේ (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආබාධිත හමුදා සෙබළුන් ජීවත්ව සිටින තෙක් මෙම ගෙවීම අඛණ්ඩව සිදු කෙරේ. ආබාධිත හමුදා නිලධාරියෙකු විශ්‍රාම ගිය පසුව මෙතෙක් ගෙවන ලද විශ්‍රාම වැටුප හා අනෙකුත් දීමනා වෙනුවට ඔහු විශ්‍රාම යන අවස්ථාවේ දී ලැබූ මූලික වැටුප හා සියලු දීමනා ඇතුළත් මාසික වැටුප ලබා දීම මෙහි විශේෂත්වයයි.

මුදල් අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට ආබාධිත තත්ත්වයට පත්වූ යුධ හමුදා මේජර්වරයකුගේ මූලික වැටුප හා දීමනා රුපියල් 97,205 වේ නම් එම වැටුපට අමතරව සේවා විශ්‍රාම වැටුප වශයෙන් රුපියල් 10,000ක්ද, දුබලතා විශ්‍රාම වැටුප වශයෙන් රුපියල් 4,000ක්ද මාසික වැටුපට එකතු වේ. ඒ අනුව ආබාධිත මේජර්වරයෙකුගේ වැටුප 111,483කි. ඔහු ආබාධිත සෙබළකු වශයෙන් වයස අවුරුදු 55 දී විශ්‍රාම ගැන් වූ පසු ඔහුට මෙතෙක් ලැබුණේ රුපියල් 81,000ක විශ්‍රාම වැටුපකි.

ආබාධිත සෙබළුන්ගේ නියෝජිත පිරිසක් දැනට මාස කිහිපයකට පෙර මාතරදී මුදල් අමාත්‍යවරයා හමු වී ඔවුන්ගේ දුෂ්කරතා පිළිබඳ කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව මුදල් අමාත්‍යවරයා විසින්, ඔවුන් අවසන් වරට ලැබූ වැටුපට සමාන මුදලක් ජීවිත කාලය පුරා ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දෙන ලදි. ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාද දැනුම්වත් කිරීමෙන් පසුව මෙම සහන සෙබළුන් වෙනුවෙන් ලබා දීමට මෙම රජයට හැකි වීම සතුටට කරුණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

පසුගිය රජයේ පාලකයන් එම සෙබළුන්ගේ සුබ සාධනය සඳහා සැලකිය යුතු කිසිවක් ලබා නොදුන් බවත් මෙම රජය බලයට පත් වීමෙන් පසුව පොලීසිය හා ආරක්ෂක හමුදාවේ සියලු සාමාජිකයන්ට පසුගිය වසර 20ක් තිස්සේ නොදුන් සහන අයවැය හරහා ලබා දීමට මුදල් අමාත්‍යාංශයට හැකි වූ බවත් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයෙ නිවේදනයේ සඳහන් වේ.

ආබාධිත හමුදා නිලධාරීන‍ෙට දිවි ඇති තෙක් මෙම වැටුප් ගෙවීම ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන සංග්‍රහය සහ අදාළ චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නුදුරේදීම සංශෝධනය කරනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *