ආපදාවට පත් වූවන්ට සහන සලසන්න

(කොළඹ, ලංකාපුවත්) – අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (24) අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය.

එම සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත් නායයෑමේ අවදානම පවතින ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව කඩිනම් කරන ලෙසත් ජනාධිපතිවරයා එහි දී උපදෙස් දුන්නේ ය.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ එමඟින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ පිළිබඳ ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දෙන ලදි.

එම සහන වැඩපිළිවෙළේදී ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසත් ප්‍රතිපාදන ගැටලුවක් මතු වුවහොත් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් සිදු කරන ලෙසත් තමා මැදිහත් වී එම මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. ඉදිරි මාස 02ක කාලය තුළද අධික වැසි තත්ත්වය දිගින් දිගටම ඇති විය හැකි බැවින් පූර්ව සූදානමක් ඇතිව එම තත්ත්වයන්ට මුහුණදීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහ සියලු අංශවල සම්බන්ධීකරණයෙන් සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහි දී පැහැදිලි කළේය. එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණයේදී බාධාවකින් තොරව එම හදිසි ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමේ සහ ජනතාවගේ සහන වැඩපිළිවෙළ විධිමත් කර ගැනීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *