එජාපයෙන් ඒකමතිකව සජිත් තීන්දුයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට 8 වැනි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නොවැම්බර් 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකමතික තීරණයෙන් ඊයේ (26) තෝරා පත්කර ගන්නා ලදි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැස් වූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් යෝජනා කළ අවස්ථාවේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ඒ සඳහා හිමි විය.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තේරීමේ වගකීම එක්සත් ජාතික පක්ෂයට බාර දී ඇත. ඒ අනුව පක්ෂයේ බෙදීමක් ඇති නොවන පරිදි තීරණයක් ගැනීම බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වීම හේතුවෙන් සහ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව ඉදිරියට යෑමේ අපේක්ෂාවෙන් මෙසේ සජිත් ප්‍රේමදාස මහතා තෝරා පත් කර ගැනිණි. කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීමට ගත් තීරණය ලබන ඔක්තෝබර් 9 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන රැස්වීමේදී ප්‍රකාශ කිරීමට නියමිතය. එසේම අද (27) දිනයේ සජිත් ප්‍රේමදාස මහතා අදාළ ජනාධිපතිවරණ ඇප මුදල් මැතිවරණ කොමිසමට තැන්පත් කිරීම සිදු වන අතර නාම යෝජනා බාර දීම ඔක්තෝබර් 3 වැනිදා සිදු කිරීමට නියමිතය. එසේම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ හංසයා ලකුණෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරඟ වැදීමට නියමිත බව වාර්තා වේ.

2005 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක ඉදිරිපත් නොවීය. එසේම 1988 වර්ෂයේ රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් පසු මේ වනතුරුත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයක් බිහි නොවීය. එවැනි වාතාවරණයක් තුළ 52 හැවිරිදි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙවර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදීමට නියමිතය. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස, නිවාස ඉදිකිරීම් හා සමෘද්ධි අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර ඔහු මේ වනවිට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *