ඇතින්නියන් 7දෙනාගේ මරණ අභිරහසක්

(කොළඹ, ලංකාපුවත්) –හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ තිබි පෙරේදා (28) දහවල් තවත් මියගිය ඇතින්නියන් තිදෙනකුගේ මළසිරුරු සොයා ගැනීමත් සමඟ සොයාගත් මුළු මළ සිරුරු ගණන හතක් දක්වා ඉහළ ගිය බව වනජීවී නිලධාරීහු පවසති.

පසුගිය 27 වැනි දින මුලින්ම සිගිරිය වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරක් ඔස්සේ ඇතින්නියන් හතර දෙනකුගේ මළ සිරුරු සොයාගත් අතර ඉන් පසුව 28 වැනි දා අලුයම එක් ඇතින්නියකගේ මළ සිරුරක් සොයා ගත් බවත් පසුව සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් ,යුද හමුදාව ,හබරණ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මළ සිරුරු ඇත්දැයි සොයා සිදුකරන මෙහෙයුම් වලදී එදින පස්වරුවේ රක්ෂිතය තුළ තිබී එයාකාරයෙන් තවත් ඇතින්නියන් දෙදෙනකුගේ මළ සිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසති.

පෙරවරුවේ සොයාගත් කුඩා අලි පැටවා තම මව මියගිය බව නොදැන මව අසලට වී රැඳී සිටින ආකාරයත් එමෙන්ම කිසිවකුටත් එම ස්ථානයට ළංවීමට ඉඩ නොදී මව බලා ගන්නා ආකාරය ද බොහෝ දෙනෙකුගේ සංවේදී දර්ශනයක් බවට පත්විය .එමෙන්ම මෙම කුඩා අලි පැටවා සිය මියගිය මවගේ මුඛයට සහ සිරුරට ස්පර්ශ කරමින් නැගිට්ට වීමට සඳහා උත්සාහ කරන අයුරුද එහි ගිය අපට දැක ගැනීමට හැකිවිණි.

මියගිය වන අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරීනි දිනුෂා ද සිල්වා මෙනවිය ඇතුළු වනජිවී නිලධාරින් පැමිණ සිදුකරන්නට යෙදුනහ. කුඩා අලි පැටවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට ඉඩ නොදෙන නිසා එම වන අලි පැටවාට නිර්වින්දනය කොට වෙනත් ස්ථානයකට පළවා හැර පරීක්ෂණ කටයුතු කිරීමට වනජීවී නිලධාරීහු ක්‍රියා කළහ.

වනජීවී පශු වෛද්‍ය නිලධාරීනි දිනුෂා ද සිල්වා මෙනවිය සිදු කළ පරීක්ෂණ අනුව මේ සතුන්ට යම්කිසි විසක් ශරීර ගත වී තිබෙන බවද එය කුමන ආකාරයකට ඇතුළු වුණේද කුමන වසක් ශරීර ගත වුණේද යන්න නිවැරදිව සොයා බැලීම සඳහා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වරයා වෙත යැවීමට පියවර ගත්බව වනජීවී දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව කලාප භාර අධ්යක්ෂ ඩබ්ලිව් .ඩි .එම් .එස් .වික්‍රමසිංහ මහතා පැවසිය .

දැනට හමුවූ මළසිරුරු හතම ගැහැණු සතුන් වන අතර ගැබ්බරව සහ කුඩා පැටවුන් සහිත මවුවරුන් බව සිගිරිය වනජීවී අඩවි ආරක්ෂක බණ්ඩාරනායක මහතා පැවසිය .

මෙම සතුන් මිය යෑම පිළිබඳව තවමත් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට නොහැකි බවත් තවදුරටත් ඒ පිළිබඳව පරික්ෂා කරන බව ද තව දුරටත් මේ ආකාරයෙන් රක්ෂිතයේ සතුන් සිටී ද යන්න සෝදිසි මෙහෙයුමක් 29 දින ද වනජීවී නිලධාරීන් ,යුද හමුදාව ,සිගිරිය ගුවන් හමුදාව ප්‍රදේශවාසින් ගේ සහයෝගය ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් පැවසිය .

මියගිය වන අලින් නැරඹීම සඳහා දෙස් විදෙස් ජනතාව විශාල වශයෙන් හබරණ රක්ෂිත ප්‍රදේශයට පැමිණ සිටි අයුරු ද එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් ජනතාව වන අලින් මිය යෑමෙන් දැඩි කම්පනයකට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *